"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Friday, July 30, 2010

යාපහුව රාජධානියේ

ගොවි රජවරුන්ගේ අද දවස............?

යාපහුව අපේ මානව ශිෂ්ඨාචාරයේ තවත් එක් සංධිස්ථානයකි. එමෙන්ම 13 වැනි සියවසේ දශකයක් පමණ කෙටි කාල සීමාවක් සදහා දිව‍යිනේ අගනගරය බවටද පත්ව තිබු පැරණි නගරයකි. පොලොන්නරුව රාජධානියෙන් පසුව නිරන්තරයෙන් ඇතිවුන විවිද සතුරු ආක්‍රමණ හමුවේ වැදගත් ආරක්ෂක ස්ථානයක් ලෙස මෙය භාවිතා කර තිබෙන බව සාක්ෂි හමුවී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‍යට අයත්ව යාපහුව පිහි‍ටා තිබේ. ප්‍රාග් ‍ෛඑතිහාසික අවධියේ පටන් පූර්ණ ජනාවාසයක් බවට යාපහුව හා අවට ප්‍රදේශ පත්ව තිබේ. අතීතයේ පටන් කෘෂිකර්මාන්තය ප්‍රදේශය තුල දැකගත හැකි විය. වී ගොවිතැන, හේන් ගොවිතැන සහ කිරි හරක් පාලනය මේ අනුව සිදුවිය. එකල රට පාලනය කල ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ අගනගරය බවට පත්ව තිබු මෙය ගොවි රජවරුන්ගේත් අග නගරයක් බවටද පත්විය.

අතීතයේ පටන් වී ගොවිතැන බහුල වශයෙන් මහව ප්‍රදේශය තුල සිදුකෙරේ. වර්තමානයේ කටුක භුමියක දුෂ්කර ක්‍රියාවක් මැද යල මහ කන්න වග‍ා කිරීමට ගොවියන් යොමුවී සිටිති. එයිනුත් වැඩි වශයෙන් වගා කටයුතු කරනු ලබන්නේ මාස් කන්නයේ පමණි.

" වැව් වතුරෙන් තමයි අපි වැඩකරන්නේ. ලැබෙන වී අස්වැන්නෙන් තමයි අපි ජීවත්වෙන්නේ. ඒත් ඉතින් දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ඉදිරියෙදි වගා කරන්න නෙවෙයි ජීවත් වෙන්නවත් පුළුවන් වෙයිද කියලා හිතන්න බෑ." මහව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොහොඹකඩවල පදිංචි ඉමිආමි මුදියන්සේලාගේ දයාරත්න එසේ පැවසුවේ යාපහුවේ ගොවි රජවරුන්ගේ අනාගතය එතරම් සුභදායක නොවන බව පැවසීමට ඉගියක් ලබාදීමට මෙනි.

" අපිට තියෙන ලොකුම ගැටළුව තියෙන්නේ වල් අලින් ගෙන්. රෑට ඇවිත් හැමදේම විනාශ කරල යනවා. ඉස්සර ති‍බුනේ නෑ මේ කර‍දරේ දැන් වසර 10ක විතර කාලය ඉදල තමයි මේ ගැටළුව තියෙන්නේ. බව බෝගයක් හදා ගන්න බෑ. අස්වැන්න ටික ගෙදර තියාගන්න බෑ. දැන් අප‍ිට වෙලා තියෙන්නේ දවල් දවසේ වගාකටයුතුවල නිරත වෙලා රෑට පැල් රකින්න." දයාරත්න වැඩිදුරටත් එසේ පැවසුවේ වල් අලින්ගෙන් සිදුව තිබෙන කරදරකාරී බව පැවසීමටය.

වල් අලින්ගෙන සිදුවන හානි මගහැරවීම සදහා අලින් පන්නා දැමීම කල යුතුය. ඒ සදහා වනජීවී කාර්යාලයෙන් අදාල වෙඩි කරල් ලබාගැනීමට මේ ගොවියන්ට සිදුවෙයි. " අලින්ගෙන් තියෙන කරදර ගැන වනජීවී එකට කිව්වම ඒ අය කියන්නේ අපට එන්න වාහන නෑ කියලා. ඊට‍ පස්සෙ ඉතින් අපි ගල්ගමුවට යන්න ඕන වෙඩි කරල් අරන් එන්න. එතනට යන්නත් යන වාහනේට රුපියල් 1000ක විතර තෙල් පිච්චෙනවා. ඒ ගියාමත් දෙන්නේ වෙඩි කරල් තුනක් නැත්නම් හතරක් විතරයි. සමහර දවස් වලට එක රෑට මේ හතරම ගහන්න වෙනවා. ඊට පස්සෙ ඉතින් අපි ආපහු දවසේ ආයිමත් යන්න ඕන වෙඩි කරල් අරන් එන්න." කොහොඹකඩවල පදිංචි වයස අවුරුදු 32 වයස ඉමිආමි මුදියන්සේලාගේ තිලකරත්න පවසයි. " සමහර දවසට අලි එන්නේ දවල් දෙකට තුනට විතර. ඇවිත් වග‍ා විනාශකරල යනවා. මේක නවත්තන්න රජයේ අවධාන යොමුවෙන්න ඕන. ඒත් ඒ කිසිවක් තාමත් නැහැ." තිලකරත්න වැඩිදුරටත් පවසයි.

"දැනට අලි ප්‍රශ්නෙ නිසා මනුස්සයෝ හයදෙනෙක් මැරිල තියෙනවා. ටිවි එකේ රේඩියෝ එකේන් කියනවා මේවට වන්දි දෙනවා කියලා. ඒත් තවම ඒ කිසිවක් නෑ. මේ ගැන දිසාපතිතුමාට කිව්වට වැඩක් නෑ. වනජීවී එකට කිව්වට වැඩක් නෑ. මේ හරියේ ඉන්නේ ගොවිතැන් බතක් කරගෙන ජීවත්වෙන දුගී දුප්පත් ජනතාව. මෙහෙම දේවල් වෙනකොට මේ අයට වගාකර ගන්න බැරිව යනවා. මේ වෙනකොට සිදුවෙලා තියෙන පාඩුව පියවගන්න බැරිව සමහර ගොවියන් මැසි තෙල් බීල මැරිලා තියෙනවා. මේව ගැන හොයන්න කවුරුවත් එන්නෑ." කොහොඹකඩවල ගොවි සංවිධානයේ සභාපති ඉමිආමි මුදියන්සේලාගේ රංබණ්ඩා පවසයි. වසය අවුරුදු දහඅටේදී ගොවිතැනට යොමුවුන රංබණ්ඩාගේ වයස දැනට අවුරුදු 63කි. වසර ගණනාවක් ගොවිතැන පිළිබද අත්දැකීම් ඇති රංබණ්ඩා වැඩිදුරටත් පවසනු ලබන්නේ කිසිදු දිනක ගොවිතැනෙන් සෑහීමට පත්වීමට නොහැකිවූ බවයි. " කොහොඹකඩවල මහ වැව පිරුනොත් විතරයි වගාකරන්න පුළුවන්. මාස් කන්නෙ විතරයි මෙහේ වගාකරන්නේ. ඒ වග‍ාකරන්නෙත් මාසතුනේ වී. ඒ මාස තුනවත් හරියට වගාකරන් බෑ. අපි කොච්චර කිව්වත් රජයෙන් අහන්නෑ. එලි වැටෙනකන් පැල්වල ඉන්නේ. පැල්වලවත් හරියට ඉන්න බෑ ගෙදර කොයිවෙලාවෙ කඩයිද කියල කියන්න බෑ. ලක්ෂ කෝටිගණන් වියදම් කරල පෝසටර් ගහල නිකරුනේ රැස්වීම් කරන්න පුළුවන්. නමුත් මේ යාපහුව ආසනේ ගොවියන් මුහුණ දෙන වල් අලි ගැටළුවට සතපහක් දෙන්නෑ. අපි මිනී පෙට්ටි අරගෙන ගිහින් පාරවල් ගානේ පිකටින් කලේ. එතකොට කියන්නේ ලබන මාසේ දෙන්නම් විසදුමක්. නැත්නම් ඊළග මාසේ දෙන්නම් කියලා. දෙනවයි කියල කිව්වට තාමත් නෑ."

යාපහුව ආසනයේ කාන්තා පිරිමි හැම කෙනෙක්ම වගාකටයුතු වල නිරතවී සිටිති. කාන්තාවන්ද පුරුෂයන් මෙන් එක සමානව ව‍ැඩකලද ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙයි." අපි බෙ‍ාහෝම දුෂ්කරව තමයි මේ කටයුතු නියැලිලා ඉන්නේ. අ‍පේ ඉඩම් වගාකර ගන්න බැරිවුනොත් ඊට පස්සේ මාස කිහිපයක් ජීවත්වෙන්න බැරිව යනවා. ඒක නිසා අපි වෙනත් කුඹුරුවල කුලී වැඩට යනවා. එහෙම ගිහිල්ලත් පිරිමියෙක් හා සමානවම වැඩකරනවා. ඒත් අපිට ලැබෙන්නෙ අඩු වැටුපක්. පිරිමිකෙනෙක්ට රුපියල් 700ක් ලැබෙනවා. අපිට ගෙවන්නේ රුපියල් 400ක් හරි 450ක් පමණයි. ඒක ගන්නෙත් බොහොම අමාරුවෙන්." අතපත්තු හේරත් මුදියන්සේලාගේ සුමනාවතී පැවසුවාය. " අපේ දරුවො ඉගෙන ගන්නෙත් බොහොම අමාරුවෙන්. පාසලට යන්නත් කිළෝමීටර් 4ක් විතර යන්න ඹ්න." සුමනාවතී තම ගොවි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් පැවසුවාය.

" මොනදේ වුන‍ත් මෙහේ හැමෝම නීරෝගිව ජීවත් වෙනවා. කිසිම ලෙඩක් දුකක් දරුණු විදියට හැදිල නැහැ. ඒක හේතුව තමයි අපි හැමෝම ඇග මහන්සිවෙලා වැඩ කරන හින්දා වෙන්න ඇති." ඉමිආමි මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර පැවසුවේ සිනාමුසුවයි. " අපිට මාර්ග දුෂ්කරතා තියෙන නිසා ලැබෙන අස්වැන්න ‍අළෙවිකරගන්න ගෙනියන්න අපහසුයි. මෙතන ඉදල මහවටත් තියෙනවා කිළෝමීටර් 12ක් 13ක් විතර. බස්එකක් ගමට එනවා ඒ එන්නෙත් උදේටයි හවසටයි විතරයි. " නවරත්න බණ්ඩාර එසේ වැඩිදුරටත් පැවසුවේ ප්‍රදේශයේ පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු පෙන්වාදීමටය.

විවිද දුෂ්කරතා මැද්දේ වගාකටයුතු සිදුකලද ලැබෙන අස්වැන්නට නියම මිළක් නොලැබෙන බව ‍කොහොඹකඩවල ගමේ ගොවියන් පෙන්වාදෙති. " අපි බොහෝම අමාරුවෙන් තමයි වගාකරන්නෙ. ඒ වගාකරලත් ලැබෙන අස්වැන්න විකුණගන්න තවත් දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕන. මේහේ ඉදල රජයේ මිළදී ගන්න තැනකට හරි පෞද්ගලික අංශයේ මිළදි ගන්න තැනකටහරි ගෙනියන්න ඕන. ඒ ගෙනිච්චත් අඩු මුදලකට තමයි විකුණ ගන්න පුළුවන් වෙන්නේ. සමහර කන්න වලදි හොද මිළකට විකුණ ගන්නත් පුළුවන්. දැන් මේ වෙනකොට අස්වැන්න කපන කාලේ. ඉස්සරහට අස්වැන්න විකුණන එක කෙ‍ාහොම වෙයිද කියල කියන්න බැහැ." ඉමිආමි මුදියන්සේලාගේ රංජිත් යසරත්න පැවසීය.

දුෂ්කරතා රැසක් මැද යාපහුවේ ගොවි රජවරුන් රටට බත සැපයීමට වෙහෙස මහන්සිවෙති. මේ දක්වා තමන්ගේ ගැටළුවලට නිසි අවධානයක් නොවීම පිළිබදව මේ ගොවියන් තුල පවතින්නේ කනස්සල්ලකි. කෙසේ වුවද ලංකාවේ සිව්වැනි රාජධානිය බවට පත්වු යාපහුව රාජධානියේ ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබද සොයා බැලීම ඔවුන්ට කරනු ලබන විශාල සේවයකි. ඒ කෙසේ වෙතත් යාපහුව පර්වතය මෙන් නොසැලී දුක් කම්කටොළු මැද දහඩිය මහන්සියෙන් රටට බත සපයන යාපහුවේ ගොවි රජවරුන් අපේ ‍රටට මහගු සම්පතක් වගේම මහත්වූ අභිමානයකි. ගෞරවයකි.

විශේෂ ස්තුතිය,

මාතර මාධ්‍ය නිවසට සහ ඉන්ටර්නිව්ස් ශ්‍රී ලංකා ආයතනයට.


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

නිර්මාණශීලි මාධ්‍ය කලාවක් උදෙසා.......


1 comment: