"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Friday, February 26, 2010

අහන්න අපේ අළුත්ම වැ‍‍‍ඩේ ---> අර පැත්තේ....>>>

අපේ අළුත්ම වැ‍‍‍ඩේ ඇහුවද?
නැත්නම් අහන්න අර පැත්තෙන් තියෙන්නේ.
ඒක අහල ඒ ගැන ඔබට හිතෙන්නේ මොකද්ද කියලා අපට කියන්න.
‍බ්ලොක් කරනයේ අළුත්ම වැඩක් කරන්න තමයි ‍අපේ සූදානම.


එහෙමත් නැත්නම් බ්ලොක් කියවන ඔබට සමීපම මිතුරෙක් වෙන්න ඔන්න අපි සූදානම්.

ම්...ම්... හිතෙනවද මොන‍වගේ දෙයක්ද කියල?.......

නෑ... නෑ.... අපිම ඒ ගැන කියන්න ඉස්සෙල්ලා ඔබට ඒ ගැන හිතෙන්නෙ මොකක්ද කියල අපිට කියන්න‍කෝ....

ඒ මොකද දන්නවද
අපේ අළුත් වැ‍ඩේට ඔයාලගේ අදහස් ගොඩක්ම වටින නිසා....


ඒ හින්දා‍
අපට මේ ගැන නොවරදවාම ඔබේ අදහසත් කියන්න.

අපි ,
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

Saturday, February 20, 2010

සුදු ජාතික වාරි ඉංජිනේරුවාගෙන් පැවත එන ලංකාවේ හිංගර්ට් පරපුර...

හිංගර්ට් මහතා ලංකාවට පැමි‍ණියේ වාරි ඉං‍ජිනේරුවරයකු ලෙසිනි. ඒ ඉංග්‍රීසි යටත් විජිත නිලධාරියකු ලෙස ‍ලංකාවේ වාරිකර්මාන්තයට සේවය කිරීම සදහාය. දහනව වැනි සියවසේ මුල් කාර්තුවේ පැමිණි මොහුගේ මුල්ම රාජකාරී බල ප්‍රදේශය වූයේ යාපනයයි. මොහුට හෙන්රි එබිනේෂන් හිංගර්ට් නම් තරුණ පුතෙක්ද විය. තම පියාගේ ආභාෂයෙන් හෙන්රි එබිනේෂන් හිංගර්ට් තරුණයාටද වාරි කර්මාන්තය පිළිබදව දැනුම හා ආභාෂය ලැබීය. පිය පුතු දෙපල ලංකාවේ විවිද පලාත්වල වාරිකර්මාන්තය ආශ්‍රිතව කටයුතු කලහ.

මාතර දිස්ත්‍රික්කයේ ඇල්ලේවෙල වැව පිහිටා තිබෙන්නේ හක්මන කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ ඊරියතොට ප්‍රදේශයේය. හෙක්ටයාර 675ක් පුරා පැතිර පවතින විහාරකැලේ රක්ෂිතයෙන් වැව පෝෂනය වේ. දිවයින පුරා පිහිටි වැව් අතරින් ඇල්ලේවෙල වැව සුවිශේෂී වේ. අඩුම දිගකින් යුත් වැව් බැම්ම සහ නෑමට තොටුපලක් නොවීම මීට ප්‍රධාන හේතු සාධකයන්ය.

හිංගර්ට් පියපුතු දෙදෙනාම මෙම වැවේ නඩත්තු කටයුතු සිදුකරමින් සිටයහ. එහෙත් වැඩි කලක් යන්නට මත්තෙන් ජ්‍යේෂ්‍ඨ හිංගර්ට් මහතා සිය වැඩ රාජකාරී තම පුතුට භාරදෙන ලදී. පියාගේ අඩි පාරේ ගොස් වාරි ඉංජිනේරුවරයෙකු බවට පත්වුන හෙන්රි එබිනේෂන් හිංගර්ට් මහතාට ඉංග්‍රීසි ආණ්ඩුව වැව් පහක වගකීම භාරකරනු ලැබීය. ඒ අනුව ඇල්ලේවෙල, මුරුතමුරය, ලේනබටුව, සහ දෙනගම ආදි වැව් වල භාරකාරිත්වය ඔහුට පැවරුණි.

සිංහල සමාජයේ හැදුනු වැඩුනු ජර්මන් ජාතික හෙන්රි එබිනේෂන් හිංගර්ට් මහතා ප්‍රදේශයේ සිටි රූමත් තරුණියකට හිත ඇදී ගියේය. ඇය ඊරියතොටට නුදුරු කරපුටුගල ප්‍රදේශයේ ජීවත්ව සිටියාය.

දීත්තිමුන්නි අ‍ාර්ච්චිගේ දියෝනිස් හාමි නම්වූ එම රූමත් තරුණිය සහ වැව්භාර හෙන්රි එබිනේෂන් හිංගර්ට් මහතා පෙන්වතුන්වී වැඩිකල් නොගොස්ම විවාහ වුහ. මෙවැනි විවාහ එකල ජනසමාජයට නුහුරු නුපුරුදු විය. එම නිසා මනාලියගේ පාර්ෂවයේ නැදැයන් මෙන්ම ප්‍රදේශවාසීහුද මෙම විවාහයට මුලදී විරුද්ද විය.

විවාහයෙන් පසුව ඇල්ලෙවෙල වැව ඉස්මත්තේ පිහිටි වාරිමාර්ග නිළධාරීන් සදහා රජයෙන් ලබාදෙන නිළ නිවසේ මෙම හිංගර්ට් යුවල පදිංචි වූහ. විවාහයෙන් පසුව දියෝනිස් හාමි ලෙස හැදින්වූ හිංගර්ට් මහතාගේ බිරිදගේ නම වෙනස් කෙරුනි. ඇයට ජර්මානු නමක් භාවිතා කලාය. ඒ රෝස් හිංගර්ට් ලෙසය. පසුව මෙම පවුල දරු දැරියන් එකෙ‍ාලොස් දෙකෙකුගෙන් සමන්විත විය. එම පවුලෙන් පසුව ජර්මන් ජාතික හිංගර්ට් පරම්පරාව ලංකාවේ ව්‍යාප්ත විය.

ශ්‍රී ලංකාවට ක‍ැමතිව සිංහල කතක් විවාහ කරගෙන සිටි ජර්මන් ජාතික හිංගර්ට් මහතා 1981 වර්ෂයේදී මිය ගියේය. එක් රටක ඉපදී තවත් රටක මිය ගිය ඔහු වෙනුවෙන් හඩන්නට එකදු ජර්මානුවකු නොවීය. නමුත් ඔහු වෙනුවෙන් ජර්මන් සිංහල සම්භවයක් සහිත හිංගර්ට් පරපුරම හඩා වැටුණාහ.

ජර්මන් ජාතික හිංගර්ට් මහතා මෙලෙස ආරම්භකල හිංගර්ට් පරපුර අදටත් කඹුරුපිටිය ඊරියතොට ප්‍රදේශයේ ජීවත්වෙති. එමෙන්ම හිංගර්ට් පරපුර ඊරියතොටින් ඔබිබටද ව්‍යාප්තවී ඇත. ඒ අවාහ විවාහ සම්බධතාවයන් නිසාය. හිංගර්ට් පරපුරේ අය විවාහ වන්නේ සිංහල අය සමගය. මනාලිය සිංහලනම් මනාලයා හිංගර්ට්ය. මනාලයා සිංහලනම් මනාලිය හිංගර්ට් ලෙස ඔවුන් තෝරාගනී.

මුල්කාලීනව මේ ජනයා ක්‍රිස්තියානි ආගම ඇදහුවද මේවන විට සියල්ලෝම බුදු දහම අදහති. නමුත් නත්තල වැනි කතෝලික උත්සව අවස්ථාවන් වලදී මොවුන්ගේ පවුල්වල විවිද උත්සව, සංග්‍රහ ආදිය පවත්වති. මේ පරපුරේ බොහෝ දෙනාගේ නම් ජර්මානු නම්ය. වර්තමානයේත් එය එසේමය.

සියවස් එකහමාරකට අධික කාලයක් තිස්සේ ජර්මන් ජාතික හිංගර්ට් පරපුර හා බැදුනු සබදකම් හා හිතවත් කම් අදටත් වියැකී නොමැත. පරම්පරා පහකට පමන මේවන විට හිංගට් පරපුර ව්‍යාප්තව තිබේ. නව පරපුර තම පරම්පරාව පිළිබදව අභිමානවත් අයුරින් කථාබහ කරති. ඒ වෙන කිසිවක් නිසා නොව රටවල් දෙකක මව් පිය පාර්ශවයකින් තම පරම්පරාව පැවත එන නිසාය.

වැව් බැදි රටක වාරිකර්මාන්තය ව‍ටා ගෙතුනු අතීත සිදුවීම් රැසක්ම අපේ ඉතිහාසයට බොහෝදේ එක්කර තිබේ. නමුත් මේ පරපුරේ ලංකාවේ ව්‍යාප්තිය පිලිබදව වර්තමානයේ ජර්මන් ජාතිකයන් දැනුවත්වී ඇත්ද යන්න තව දුරටත් සොයාබැලිය යුතුය. ඒ මක් නිසාද යත් ලංකාවේ හිංගර්ට් පරපුර සමග ජර්මනිය කිසිදු සබද තාවක් ගොඩනැගී නොමැති නිසාය.


හිංගර්ට් මහතා ඊරිය‍තොට ප්‍රදේශයට පැමිණ ජීවත් වූ බංගලාවේ නටබුන්

හිංගර්ට් මහතාගේ භා‍රයේ පැවති ඇල්ලවෙල ඊරිය‍තොට වැව

ලංකාවේ හිංගර්ට් පරපුරේ ආරම්භකයා හෙන්රි එබිනේෂන් හිංගර්ට් මහතාගේ දිනපොතේ පිටුවක්

හිගර්ට් පරපුරේ දැනට ජීවත්වන වයස්ගතම පුද්ගලයා නිව්මන් ඇන්ජ‍ලෝ හිංගර්ට්

හිංගර්ට් පරපුරේ මෙරට ආරම්භකයා හෙන්රි එබිනේෂන් හිංගර්ට් (1885-1981)


ප්‍රතිභා මාධ්‍ය ඒකකය.

Friday, February 19, 2010

‍4U තරුණ්‍යයට මාධ්‍ය හුවමාරු වැඩසටහනකට අවස්ථාව

නැගෙනහිර පළාතේ මාධ්‍යවේදීන් කන්ඩායාමක් පසුගිය දිනක කඹුරුපිටිය ඊර‍ියතොට ප්‍රදේශයේ මාධ්‍ය සංචාරයක නිරත විය. මාතර මාධ්‍ය නිවස මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ප්‍රදේශයේ සංචාරය කිරීම සදහා අවශ්‍ය මග පෙන්වීම් ඇලයටිකර ප්‍රතිභා ‍4U තරුණ සංවිධානය මගින් සපයන ලදී. මෙම සංචාරය සදහා නැගෙනහිර පළාතේ සිට පැමිණි මාධ්‍යවේදීන් සමග අත්දැකීම් බෙදාහදා ගැනීමටද ‍ඊරිය‍ෙතාට ප්‍රදේශයේ ජනතාවට හැකිවිය. මෙම සංචාරය සදහා නැගෙනහිර පළාතේ සහ දකුණු පළාතේ මාධ්‍යවේදීන් 25ක් පමණ සහභාගි විය

නැගෙනහිර පළාතේ මාධ්‍යවේදීන් සමග ඇලයටිකර ප්‍රතිභා ‍4U තරුණ සංවිධානයේ සාමාජිකයන් සිය ප්‍රදේශයේ සංචාරයකරන අයුරු.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

වේවැලෙන් අපූරු දෑ නිර්මාණය කරන අපූරූ මිනිසා

මිනිසාත් සොබාදහමත් අතර පවතින්නේ අපූරු සබැදියාවක්. සොබාදහමේ පහස විදින්න වගේම සොබාදහමේ පවතින දෑ වලින් විවිද නිර්මාණ බිහිකරන්න අපේ මිනිසුන්ට හැකියාවක් තිබේ. දකුණු පළාත පාරම්පරිකව පැව‍තඑන කර්මාන්ත වලට වැඩි ප්‍රසිද්ධියක් ලබාදෙයි. ‍ධීවර, රේන්ද, මැටි, පන් සහ වේවැල් ආශ්‍රිත කර්මාන්තයන්ට මෙහි වැදගත් කමක් හිමිව තිබේ. වේවැල් ආශ්‍රිත කර්මාන්ත කඹුරුපිටිය, බටුවිට, දෙයියන්දර, මාවරල ආදී ප්‍රදේශවල බොහෝවිට දැක ගැනීමට පුළුවන්. විවිද ගෘහභාණ්ඩ, එදිනෙදා කටයුතු සදහා ප්‍රයෝජනවත්වන විවිද භාණ්ඩ වේවැල් භාවිතයෙන් නිෂ්පාදනය කෙරේ.

වේවැල් කර්මාන්තය සිය ජීවන වෘත්තිය කරගත් පුද්ගලයෙක් කඹුරුපිටිය ඊරියතොට ප්‍රදේශයේ ජීවත් වේ. මාටින්අප්පු හාමිවන මොහු වසර පනහකටත් වැඩි කලක සිට මෙම වේවැල් කර්මාන්තය පවත්වාගෙන යයි. ඉතාමත් අපූරූ ගෘහ භාණ්ඩ රැසක්ම මොහු අතින් නිර්මානය වෙයි.


මාටින්අප්පු හාමි මහතා වේවැල් භාවිතයෙන් විවිද ගෘහභාණ්ඩ නිෂ්පාදනය කරන අයුරු.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව


Friday, February 12, 2010

දැස නොපෙනුනත් හිතේ ධෛර්ය ඇති මිනිස්සු................

මේ ඡායාරූපය දැක්කම ඔබට මොනවද හිතෙන්නේ. මේ ආයතනයේ නම ශක්ති ආබාධිත පුනරුත්ථාපන පදනම. තියන්නේ මාතර, කිරින්ද පුහුල්වැල්‍ල, ඕවිටිගමුව කියන සුන්දර ගම්මානයේ. මෙතන ඉන්න ඔක්කොම දෑස නොපෙනෙන අය. හැබැයි ලංකාවේ විවිද පළාත් වලින් ආපු අය. බොහෝම කරුණාවන්ත පිරිසක්. පිනක් දහමක් කරගෙන බණ භාවනා කරමින් ඔවුන් කාලය ගතකරනවා. මේ ආයතනය පාලනය කරන්නෙත් මේ අයමයි. ඔක්කොම විසිපහක විතර පිරිසක් තමයි නේවාසිකව ජීවත් වන්නේ. ප්‍රදේශයේ හැම කෙනෙක්ගෙන්ම උදව් උපකාර මේ ආයතනයට ලැබෙනවා. ඒ වගේම තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ ආයතනයේ නේවාසිකව ඉන්න අයට විවිද වෘත්තීය පුහුණූ ලබාදෙන්නත් කටයුතු කරල තියෙන එක. ඇස් නොපෙනෙන අයට උගන්නන්නෙත් ඇස් නොපෙනෙන අයම වීම තමයි මේ ආයතනයේ තියෙන විශේෂත්වය. කොහු ඉදල් හදන්න, පාපිසි හදන්න, වගා කරන්න, බ්‍රේල් ක්‍රමයට අකුරු ලියන්න වගේම කියවන්න පවා මෙතන උගන්නනවා. මේ පුහුණු වැඩසටහන් වලට මේ අය සහභාගි වෙන්නේ බොහෝම සතුටකින්.වෙනත් කිසිම ආයතනයකින් කිසිම ආකාරයක උදව්වක් මේ පුහුනු වැඩවලට ලැබෙන්නේ නැහැ. ඒ වුනත් මේ අයගේ හිතේ තියෙන ධෛර්ය උනන්දුව නිසා බොහෝම ලස්සනට මේ හැමෝම වැඩ ටික කරගෙන යනවා. පුහුණුව තුල නිෂ්පාදනය කරන දේවල් ‍අලෙවි කරල තමයි මේ ආයතනයත් පවත්වාගෙන යන්නේ. ඒ ව‍ගේම තමයි දැනට පුහුණුව ලබල ඉවර වුන අය දැන් තනි තනියෙන්ම ඒ දේවල් නිෂ්පාදනය කරන්න ස්වයං රැකියා පවා ආරම්භ කරල. බලන්න දෑස නොපෙනුනත් කොච්චර ධෛර්යවන්තද කියලා. කාටවත් කරදරයක් නොවී තම තමන්ගේ වැඩටික ඔවුන්ම කරගන්නවා. මේ ආයතනය ගැන වැඩි විස්තර දැනගෙන ඔබටත් මේ අයට උදව් කරන්න ඕන කියල හිතෙනවනම්

ලියන්න,

ජගත්.කේ. රංගොඩ,
සභාපති,
ශක්ති පුනරුත්ථාපන පදනම,
ශක්ති මාවත,
ඕවිටිගමුව, කිරින්ද පුහුල්වැල්ල,
මාතර.

එහෙම නැත්නම් කථා කරන්න
+94(0)724629759 කියන දුරකථන අංකයට.


ඔවුන් අතින් නිමවුණ ගෙවතු වගාවන්
මේ තියෙන්නේ ශක්ති පුනරුත්ථාපන ආයතනයේ නේවාසිකයන් අතින් නිර්මාණය වන දෑ.

බලන්න දෑස නොපෙනුනත් කොච්චර ලස්සනට මේ අය මේ දේවල් නිර්මාණය කරනවද කියල. ඇත්තට පුදුම ධෛර්ය වන්තයි නේද

Tuesday, February 9, 2010

පාරමිතා....!

නිවන් යන්නට පෙරුම් පුරනා
අපේ පොඩි හාමුදුරුවනේ.......
අභය දා‍නය දුන්නු අපහට
ආ‍පෙන් පිං ගෙන එ‍තෙර වීලා
මිනිස් භවයට උරුම මග
කියා‍දෙන්නකෝ
පොඩි හාමුදුරුවනේ.........

Sunday, February 7, 2010

තරුණ අපට පුහුණුවක්.

කඹුරුපිටිය ඊරියතොට ඇලයටිකර ප්‍රතිභා 4U තරුණ සමාජෙය් සාමාජික සමාජීකාවන් 15 දෙ‍නෙක් සදහා දින ‍දෙකක නායකත්ව පුහුණු වැඩමුළුවක් පසුගියදා ( පෙබරවාරී මස 06 සහ 07) ඇලයටිකර ශ්‍රි සුභද්‍රාරාම විහාරස්ථානෙය්දි පැවැත්වුනි. මේ සදහා තරුණ තරුණියන් 15 දෙනක් සහභාගිවී සිටි අතර ඔවුන්ට නායකත්වය, මත්ද්‍රව්‍ය නිවාරණය ආදී අංශයන් යටතේ පුහුණුව ලැබීමට අවස්ථාව උදාවිය. දේශන ලබාදීම සදහා ප්‍රතිභා 4U තරුණ සංසදෙය් හා කඹුරුපිටිය ප්‍රතිභා මිතුරු ඒකමුතුවේ නිළධාරීන්ගේ දායකත්වය ලැබුනි‍. පුහුණු වැඩසටහන අවසානෙය්දි සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සදහා ගිනිමැල සංදර්ශනයක්ද ශ්‍රී සුභද්‍රාරාම විහාර භුමියේදී පැවැත්විනි. ප්‍රතිභා 4U තරුණ සමාජයේ තරුණ තරුණියන් බොහෝ දෙනකුට සිය හැකියාවන් ඉදිරිපත් කිරීමට මෙය කදිම අවස්ථාවක් විය.පුහුණු වැඩමුළුවට සහභාගිවූවන් කණ්ඩායම් ක්‍රියාකාරකම්වල නියැලි සිටින අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.


කණ්ඩායම් ක්‍රියාකාරකම්වල යෙදෙන අතරමැද.

ඡායාරූප සහ සටහන
නුවන් ප්‍රසන්න
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

Thursday, February 4, 2010

නිදහස සමරා පිරිත් සඡ්ඡායනයක්...

62වැනි නිදහස සමරමින් කඹුරුපිටිය ප්‍රදේශයේ පිරිත් සඡ්ඡායනයක් පැවතින. කඹුරුපිටිය අමිල යෞවන සමාජය සංවිධාන කල මෙම පිරිත් පිංකමේ විශේෂත්වය වන්නේ එය කඹුරුපිටිය ලේනබටුව වැව මැද පිරිත් මංඩපය තනා පිංකම පැවැත්වීමයි.

වැව මැද ඉදිකර තිබූ දර්ශණිය පිරිත් මංඩපය වෙත ලී යොදාගනිමින් තැනූ පාලමක් මතින් ස්වාමීන්වහන්සේලා වැඩම කොට වැව මැද සිට පිරිත් පිංකම පවත්වනු ලබයි. පිරිත් සඡ්ගායනය සඳහා ස්වාමීන් වහන්සේලා අට(8) නමක් වැඩම කල අතර ප්‍රදේශවාසින් විශාල පිරිසක්ද, මෙම අවස්ථාව සඳහා සහභාගි වි සිටියහ

රටටත් මියගිය රණවිරුවන්ටත් සමස්ත සමාජයටත් සෙත්පතා නිදහස් උළෙල වෙනුවෙන් මෙම පිංකම් මාලාව අද (04) උදෑසන හීල් දානය වැව මධ්‍යයේදීම පූජා කිරීමෙන් අනතුරුව නිමාවට පත්වෙයි.

4U දීප්තිය නිදහසේ විහිදෙයි.

මාතර දිස්ත්‍රික් ප්‍රතිභා 4U තරුණ සංසදයට අනුබද්ධ කරපුටුගල උතුර ප්‍රතිභා 4U තරුණ සමාජය මගින් 62වන නිදහස සමරා පහන් ආලෝක පූජාවක් සහ නෙළුම් මල් පූජාවක් කරපුටුගල සිරිපවර නිවේසාරාමය පුරාණ විහාරස්ථානයේදී නිදහස් දින (04) සවස හතට පමණ පැවැත්විණි.

එහිදී පහන් පූජාව සඳහා රැස්වූ තරුණ පිරිස තම නිර්මාණශිලි හැකියාව මගින් ආලෝක පූජාව වර්ණවත් කල අයුරු

කරපුටුගල 4U සාමාජික සාමාජිකාවන් විසින් සංසදයේ නාමය පහන් මගින් ආලොකමත් කර තිබූ අයුරු
(අපූර්ව දේ කිරීමෙන් සැමට සේවය-එය අපේ ආදර්ශ පාඨයයි)
ඡායාරූප - නුවන් ප්‍රසන්න, ප්‍රතිභා මාධ්‍ය ඒකකය

Monday, February 1, 2010

මාධ්‍යයට එන්නට පෙරුම් පුරන්නකුගේ ගේ පෑනෙන් ලියවෙන "අපේ රට"

"මේ අපේ රට ගැනයි"
කවුරුත් කියන විධියට අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලයි අපි හඳුනගෙන තියෙන්නේ. ඒ වගේම ඉන්දියන් සාගරය අපේ රට මුතු ඇටයක් කරල කියලයි අපි හිතු‍වේ. අපේ අසල්වැසි රට ඉන්දියාවත් එක්ක අපේ රට අතීතයේ ඉඳලම ලොකු මිතුරුදමක් ගොඩනගාගෙන තියෙනවා. ලංකාවේ අය විවිධ කාලවල ඉන්දියාවට ගිහිල්ලත් තියෙනවා ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලත් තියෙනවා කියල අපේ ඉතිහාසය අපිට සාක්ෂි දරනවා. ඒ විධීයට ලංකාවට ආපු විජය කුමාරයාගෙන් සිංහල ජාතිය බිහිවුණා කියලත් අපි අහල තියෙනවානේ.

විජය කුමාරයා ලංකාවට ඇවිත් ගොඩබැස්ස තැන තම්මැන්නාව කියලනේ මහාවංශය කියන්නේ ඒ නිසා ලංකාවට ඒ කාලේ තම්බපන්නි දීපය කියලත් කියල තියෙනවා. ඒ වගේම ප්‍රථම ලෝක සිතියමෙත් ටැප්‍රොනාන්,ටැප්‍රොබානා කියලත් පසුකාලෙක සිලෝන්, සිරෙන්ඩිබ්, සිලාන් වගේ නම්වලින් අපේ පුංචි දිවයින හඳුන්වල තියෙනවා.

ඒ වගේම අපේ ඉතිහාසය ආශ්‍රයෙන් ගොඩනැගුණූ විවිධ සාහිත්‍ය නිර්මාණත් අපිට හමුවෙනවා. සංදේශ කාව්‍යවල ඉඳල සිංහබාහු, මනමේ වගේ නාට්‍ය වගේම කෝලම් සම්ප්‍රධායත් ආවේණීක සාහිත්‍ය විධියට විචාරකයින් පෙන්වා දෙනවා. ශ්‍රි ලංකාව බුදුන්ගේ දේශය කියල දැන් කිව්වට අපිට බුදු දහම ඉන්දියාවෙන් ලැබුනේ මිහිඳු හිමියන්ගේ වැඩම වීමෙන් පසුව කියලනේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ කොහොම වුනත් බෞද්ධ සාහිත්‍යයට අනුව 2500ක් කාලයක් බුදුදහම පවතින්නේ ශ්‍රි ලංකාවේ කියල තමයි අපි ආඩම්බරයෙන් කියන්නේ අපි බෞද්ධ නිසා. බෞද්ධයන් වගේම විවිධ ආගම් ජාතීන්වලට අයත් මිනිස්සු අපේ රටේ ජීවත්වෙනවා එදා ඉඳලම.

ඒ වගේම ඉතිහාසය පුරා රටේ විවිධ කල කොලහල ඇතිවුණා කියල මහවංශය දීපවංශය වගේ සාහිත්‍ය කෘති පෙන්වා දෙනවා. කොහොම වුනත් කාලෙන් කාලෙට ඇතිවෙච්ච ගැටුම් සමතයකට පත්වෙලා ඉන්පසු රට ස්වයංපෝෂිත වුනු කාලවකවානු ඉතිහාසය පුරා තියෙනවා.

එවන් වූ කාලයකට අ‍පේ රට වර්තමානයේ පත්වෙලා තියෙනවා. වසර තිස්ගණනාවක් තිබුණු කැරලි, යුධමය තත්ත්වය දැන් නිමාවෙලා ඉතිං දැන් ඉතිහාසයට අනුව දිගු ඉතිහාසයක් තියෙන අපේ පුංචි රට නැවතත් ස්වයංපෝෂීත වෙයි කියල අපි විශ්වාස කරනවා.

ඩී.චතුරංග සංජීව
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

දක්ෂයෙක්..

මැයගේ නම ආර් ජී සමාධි අයේෂා. පාසල් ගියේ කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසලට. දැනට උසස්පෙළ කලා විෂය ධාරාවන් යටතේ හදාරනවා. ඒ කොහොම වුනත් මැය ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ අනු සංවිධායක වරියක්. ලියන්න කියන්න මැය හුගක්ම ශූරයි. ඒ වගේම තමයි පරිසරයටත් ගොඩක්ම ආදරය කරනවා. සතා සිව්පාවා, ගහ කොළ මැයගේ ලගම මිතුරන් බවට පත්වෙලා. ඒ නිසා නාරන්දෙණිය ජාතික පාසලේ "සිසිලස" පරිසර නියමු භට කණ්ඩායමේ සාමාජිකාවක් විදියට පරිසරය රැකගන්න බොහෝ වෙහසක් දරනවා. පහුගිය දිනකදී "පරිසර නියමු ජනාධිපති පදක්කම" දිනා ගන්නත් සමාධි අයේෂාට හැකියාව ලැබුනා. ‍ඒ ලබපු ජයග්‍රහනයේ සතුටටයි, ඇය වගේම පරිසරය රැකගන්න ‍අනෙක් අය දිරිමත් කිරීමත් අරමුණු කරගෙන උපහාරයක් විදියට ප්‍රතිභා මිතුරු එකමුතුවෙන් "ප්‍රතිභා මිහිතල" උපහාර සහතිකයත් සමරු සිහිවටනයත් මැයට පිරිනැමුවා.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

මාධ්‍යයට එන්නට පෙරුම් පුරන්නියකගේ පෑනෙන් ලියවෙන "අධ්‍යාපනය"



"අධ්‍යාපනය සාර්ථක ජීවිතයකට මං සලසයි"

"අධ්‍යාපනය යනු ජීවිතයයි" යනුවෙන් පෝන් ඩුවි නැමැති අධ්‍යාපන විශේෂඥයා පෙන්වා දේ. එය විමසා බලන විට අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන අභිමථාර්ථ බැඳී පවත්නා කරුණු රාශියක් පවතී. හැම කෙනෙකු තුළම උපතින්ම රැ‍‍‍ගෙන එන කිසියම් දක්ෂතා කුසලතා රාශියක් ඇත. මේවා දියුණු කර ගනිමින් ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය පරිසරය සකස් කොටදී එම කුසලතා වර්ධනය කර ගැනීමට මග පදා දීම අධ්‍යාපනයේ පරමාර්ථය විය යුතුය. අධ්‍යාපනය ඒ අනුව ජීවිතය හා බැඳි පවතින්නක් බව බවට පත්වෙයි. අධ්‍යාපනයෙන් තොර ජීවිතය අසාර්ථක ය.

පුද්ගල හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා දෙනු ලබන අධ්‍යාපනය නිර්මාණය වන පුද්ගලයා රටට දැයට කිසියම් සේවාවක් කිරීමට තරම් පිරිපුන් දැනුමින් යුතු පුද්ගලයකු බවට පත්වෙයි. පළමුව තමා සකස් වී අනතුරුව උගත් දෙයින් රටට සේවයක් කිරීමට ඔහුට ශක්තිය ඇතිවේ. මේ ආකාරයට අධ්‍යාපනය මගින් හොඳ පුරවැසියෙක් බිහිකිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුය. රටක අධ්‍යාපනය සාර්ථක ජීවිතයකට මං සලසන තත්ත්වයකින් පැවතිය යුතුය.

අධ්‍යාපනය සඳහා ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් වැය වන බව විවිධ වාර්තා මගින් පෙන්වා දේ. එලෙස වැය කෙරෙන ජාතික ධනයෙන් ප්‍රයෝජනයක් නොවන්නේ නම් එය අ‍පතේ යාමකි. මෙතෙක් කාලයක් අප රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීමේ ප්‍රථිපලයක් ලෙස අපේ අධ්‍යාපනයෙන් රටට නොවන උගතුන් රැසක් බිහිවී ඇතැයි සමහරු කියති. අධ්‍යාපනය එකකි රැකියා සැපයීම තවත් එකකි මේ දෙක අතරේ සබඳතාවයක් ඇත්නම් යහපත් යැයි ඒ අයම කියති.

එසේ නම් වියයුත්තේ කුමක්ද, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හරහා රටේ සංවර්ධනයට ඉවහල්වන බුද්ධිමතුන් බිහි කිරීම කල යුතුය. අප රටට නිදහස ලැබෙන විට අධිරාජ්‍යවාදීන් විසින් කරගෙන යනු ලැබූ අධ්‍යාපනය වෙනස් වුවත් සැලකිය යුතු වෙනසක් නොවූ බව කවුරුත් දන්නා රහසකි. නමුත් පෞද්ගලිකව විශාල වියදමක් කරමින් සහ රජය විශාල මුදලක් වියදම් කර අධ්‍යාපනය ලබාදෙන්නේ රටට උපාධී ලෝගු පමනන් අවශ්‍ය නිසා නොවේ. ලබන අධ්‍යාප‍නයෙන් රටටත් තමාටත් සේවයක් කර ගත හැකි ආකාරයට අධ්‍යාපනය ලැබීමට ප්‍රතිපත්ති වෙනස සිදුවිය යුතුය.

යමෙක් උපදින විටම ගෙන එන දක්ෂතාව ඔහුට හෝ ඇයට දියුණු කර ගැනීමට සැලැස්වීම තුළින් රටට අවශ්‍ය උගතුන් බිහිකිරීමට සමත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අප රට තුළ සකස් වුවහොත් අනාගතයේ රටට සහ තමන්ට සේවයක් වන උගතුන් පිරිසක් මේ පුංචි ලංකාවට බිහිවනු ඇත.

අයි.ශ්‍යාමලි දිලානි ‍සොනාරත්න.
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.

‍නිර්මාණශීලී මාධ්‍ය කලාවක් වෙනුවෙන් අපි..........

අලුත් අත්දැකීමක්. අලුත් ආරම්භයකට අපි ඔක්කොමල එකතුවුනා. අ‍පිට කියන්නේ "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව" කියලා. පහුගිය 29 වැනිද සුභ මොහොතින් තමයි අපි හා හා පුරා කියලා වැ‍ඩේ පටන් ගත්තේ. කොළඹට හුගක්ම ඈතින් තියෙන පුංචිම පුංචි ගමක ඉදල. ඒ තමයි කඹුරුපිටිය කියන ගමේ ඉදල. අපේ කමට ගැලපෙන අපේ අභිමානය ගැන කතාකරන අපේ සංස්කෘතියට සදාචාරයට ආදරය කරන අලුත් මාධ්‍ය කලාවක් වෙනුවෙන් අපි සූදානම්. අපේ මේ කෙල්ලො කොලලෝ ටික මාධ්‍ය ලෝකයට අධුනිකයි. ඒ වුනත් ලොකු වැඩක් කරන්නයි හදන්නේ. ඒ මොනවද කියලා ටිකෙන් ටික අපි කියන්නම් කෝ. අපේ මේ ව්‍යායාමය ගැන ඔබට හිතෙන්නේ මොනවද. අපිට ලියන්න pmn.srilanka@gmail.com කියන විද්‍යුත් ලිපිනයට. ඔබේ අදහස් උදහස් අපේ ගමනට ලොකු අත්වැලක් වගේම හයියක් වේවි. ඒ ව‍ගේම ඉදිරියේදී අපේ එකමුතුවේ නවකයින්ගේ අදහස් කියවන්නත් ඔබට මෙම නවාතැනේදී අවකාශ ලැබේවි.

අපි,
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව