"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Sunday, December 26, 2010

New Vacancies......ඇබෑර්තුඇත......

ලංකාවේ ගණිකා වෘත්තිකයන්ගේ සේවය ලබාගන්නා පිරිමින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙකක්........
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇස්තමේන්තු කියයි......


ලංකාවේ ගණිකා වෘත්තිකයන්ගේ සේවය ලබාගන්නා පිරිමි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක හමාරක් පමණ වන බව අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් විවිද ලිංගාශ්‍රිත රෝග සහ HIV/AIDS ආසාදනයවීම වැඩි ප්‍රවණතාවයක් නිර්මාණය වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග/‍ඒඩ්ස් මර්ධන වැඩසටහන පෙන්වා දෙයි‍.

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ජනමාධ්‍ය පර්ෂදය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA SRI LANKA) ආයතනය සමග එක්ව කොළඹදී පවත්වන ලද මාධ්‍ය වැඩමුළුවකදී මේ බව අනාවරණය විය.

'දැනට එච්අයිවී ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව3000 කඩ වැඩි ප්‍රමාණයක් වෙනවා. 2010 වර්ෂයේ සැප්තැම්බර් මස වන විට 1285 පමණ ආසාදිතයන් සිටින බව ඇසතමේන්තු කර තිබෙනවා. මෙයිනුත් 518ක්ම කාන්තාවන්." සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත‍ රෝග ඒඩ් මර්ධන වැඩසටහනේ වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය පවසයි.

"දැනට HIV ආසාදිත ගර්භනී මව්වරුන් 50ක් පමණ සිටින බව ඇස්තමේන්තු කර තියෙනවා. මවගෙන් දරුවන්ට HIV වැලදී ඇති ප්‍රමාණය 46ක් පමණ දැනට සිටිනවා. ලංකාවේ වයස අවුරුදු 20-49 අතර වයස් ඛාණ්ඩය තුල තමයි වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් සිටින්නේ" වෛද්‍යතුමිය වැඩිදුරටත් පවසයි.

ප්‍රධාන වශයෙන් ක්‍රමතුනක් මගින් HIV/AIDS ආසාදනය වන බවයි වෛද්‍යතුමිය වැඩි දුරටත් ‍පෙන්වා දෙන්නේ."විශේෂයෙන්ම මෙම විෂබීජය ශරීර ගතවන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අනාරක්ෂිත ලිංගික ක්‍රම‍ තුලින්, අනාරක්ෂිතව සිලින්ජර් ක‍ටු භාවිතය මගින් සහ ගර්භනී මවට වැළදී තිබේනම් කුසතුල සිටින දරුවාට මෙය වැලදීම සිදුවෙනවා"

කිසිදු සොයා බැලීමකින් තොරව අනාරක්ෂිත ලිංගික සබධතා පැවැත්වීම මගින් මෙය වැඩි වශයෙන් අසාදනයවන බවයි ‍වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ" විශේෂයෙන්ම කියන්න ඕන එදිනෙදා මග තොටේදී හමු වන අයත් සමග සුහද තාවයක් ඇති කරගෙන ඔවුන් සමග ලිංගික සබධතා පවත්වන්න බොහෝ දෙනෙක් නැඹුරු වෙලා. ඒක සිදු කරන්නෙත් අනාරක්ෂිත විදියට මේ නිසා තමයි මේ රෝගය ආසාදනය වෙන්න පුළුවන් වෙන්නේ. මේ නිසා තමන් ලිංගික සම්බන්ධ තාවයක් පවත්වනවනම් තමන්ට විශ්වාස වන්තම සහකරු හෝ සහකාරිය සමග සිදුකරන එකතමයි සුදුසුවන්නේ. "වෛද්‍යතුමිය පවසුවාය‍.

"මෙතනදි ගණිකා වෘත්තියේ යෙදෙන අයටත් දෙයක් කියන්න ඕන. ඒතමයි තමන් තමන්ගේ රුධිර පටල පරික්ෂාකර ගැනීමක් සිදුකරන්න ඕන. ඒතුලින් මේ රෝගය තමන්ට ආසාදනය වෙලාද නැද්ද කියල සොයා ගන්න පුළුවන්‍. වෛද්‍යතුමිය වැඩිදුරටත් පවසුවාය.

මේ සදහා විශේෂ සායන පවා රෝහල් ආශ්‍රතව ක්‍රියාත්මක වන බව වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්‍මිය පෙන්වා දෙයි."දිවයිනේ සෑම ප්‍රදේශයකම පිහිටි ප්‍රධාන රෝහලකම වගේ වෙනමම ලිංගාශ්‍රිත රෝග වෙනුවෙන් සායනයක් පැවැත්වෙනවා‍. මෙතනට වැඩි දෙනෙක් යොමු වෙන්නෙ නැහැ. ලැජ්ජාව හා බිය තමයි මෙයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. අපි කියන්න කැමතියි මේ සායන වල සිදුකරන පරික්ෂා කිරීම් සම්පූර්ණයෙන්ම පුද්ගලිකත්වය ආරක්ෂා වෙන පරිදි තමයි සිදුකරන්නේ. ඒ නිසා කිසිදු කෙනෙක්ට බියක් ඇති කරගන්න වුවමනාවක් වන්නෙ නැහැ."

HIV/AIDS රෝගය තුරන් කිරීම සදහා සියළු දෙනා වගකීමෙන් මේ සදහා දායක වීම වැදගත් බවයි වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය අවසාන වශයෙන් පෙන්වා දෙනු ලබන්නේ."මෙම විෂබීජය අපේ රටෙන් තුරන් කරන්න අපිට ජාතික වගකීමක් තියෙනවා. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන් කැපවී සිටිනවා. අප‍ට විතරක් මේ උනන්දුව තිබුනට මදි රටේ ජීවත්වන සියළුම දෙනා මේ සදහා දායක වෙන්න ඕන. තමන්ගේ ආරක්ෂාව ගැන තමන් උනන්දුවුනොත් තමයි මේ අභියෝගය ජය ගන්න පුළුවන් වන්නේ." වෛද්‍ය සුජාතා සමරකෝන මහතිමිය අවසාන වශයෙන් පෙන්වා දෙනලදී.



HIV ආසාදිතයන්ටත් සමාජයේ ජීවත්වීමට අයිතියක් ඇත.......

HIV/AIDS රෝගය වැළදුන පුද්ගලයන් කෙරෙහි සමාජය වපර ඇසකින් බලන බව රාගම ප්‍රින්සි මංගලිකා මහත්මිය පවසයි" මම රාගම මමත් HIV ආසාදිත කාන්තාවක්. මට මේක හැදිල දැනට අවුරුදු 10ක් විතර වෙනවා. මගේ මහත්මය විදේශගත‍වෙලයි හිටියේ. ඊට පස්සේ එයාට හදිසි අසනීප තත්වයක් ඇතිවුනා ඒක පරික්ෂා කළාම තමයි මහත්තයට මෙය ආසාදනය වෙලා තියෙන බව දැන ගත්තේ."ප්‍රින්සි මංගලිකා මහත්මිය පැවසුවාය.

පසුව කරන ලද පරික්ෂන වලින් ප්‍රින්සි මංගලිකා මහත්මියටද HIV ආසාදනය වී ඇති බව දැන ගන්න‍ට ලැබී තිබේ. 'ම‍ගේ මහත්තයට ඒඩ්ස් හැදිල දැනගත්තට පස්සේ අපිට අපේ මුල්ගම වන පිළියන්දල ඉන්න දුන්නෙ නෑ. අපේ ‍ගෙවල් ගිනි තිබ්බා. දරුවන්ට පාරෙ බැහැල යන්න බැරි වුනා. අන්තිමේදි මහත්තය වසබීල මැරුණ. ‍අන්තිමේදී අප පිළියන්දලින් එන්න වුනා." සංවේගයකින් යුතුව ප්‍රින්සි මංගලිකා මහත්මිය පැවසුවාය.

මෙ වන විට HIV ආසාදිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නගන්නට ප්‍රින්සි මංගලිකා මහත්මිය යොමුවී සිටියි. " ''HIV ආසාදිතයෙක් කියන්නෙත් මේ සමාජයේම අයෙක්. සමාජයේ වෙනත් අයට තියෙන තියෙන අයිතිවාසිකම් ඔවුන්ටත් තියෙනවා. වෙනත් අයට මෙන්ම රැකියා කිරිමේ අවස්ථාව ඔවුන්ටත් තිබිය යුතුයි" මංගලිකා කියන්නීය.

ඇය පවසන්නේ වෙනස්කමකට භාජනය ‍නොවී සිටීමට එච්.අයි.වී ආසාදිතයන්ට අයිතියක් ඇති බවය. "මට HIV ආසාදනය වී ඇති බව දැන ගත්තේ වෛද්‍යවරුන් පවසන නිසා. නැත්නම් මගේ ශරීරයේ කිසිදු වෙනස්කමක් නැහැ. මට ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. වෙනත් අය සමග එකට සිටීමට අවස්ථාව තිබිය යුතුයි. මම සමාජයෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මට සමාජයේ අනික් අයට තියෙන අයිතිවාසිකම් ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි" මංගලිකා කියන්නීය.

ඇය අවධාරණය කරන්නේ සමාජයට HIV පිළිබදව දැනුවත් වියු යුතු බවය. '' ඒඩ්ස් මාරාන්තිකයි කියලා ජනතාව දන්නවා. මේ පිළිබදව ජනතාව දන්නේ එපමණයි. කොළඹ ඉන්න අය ඒඩ්ස් පිළිබද ටිකක් දැනුවත්ව ඉන්නවා. එච්.අයි.වී ආසාදිතයන් වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නැහැ. සමාජයේ සියළු දෙනා මේ ගැන දැනුවත් විය යුතුයි. මට ඕනම අයෙක් සමග ලිංගික ඇසුරක් පවත්වන්න පුළුවන්. නමුත් එය පවත්වන්නේ කෙසේදැයි යන්න සිතිය යුතුයි.

මංගලිකා අවසාන වශයෙන් පවසන්නේ," එච්.අයි.වී ආසාදිතයෙක් සමග පාරේ ගියාට මෙය බෝවෙන්නෙ නැහැ. රුධිර හුවමාරුවකදී හෝ ලිංගික ඇසුරකදී පමණයි අයෙකුගෙන් තවත් අයෙකුට මෙය බෝවිය හැක්කේ. මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි." මංගලිකා කීවාය‍..

මාරාන්තික ඒඩ්ස් රෝගය මර්ධනය කිරීම සියළු දෙනාගේ මැදිහත්වීම ලැබිය යුතුය. එ‍සේ නොවුන හොත් අනාරක්ෂිත යොමුවීම් හේතුවෙන් මරණයට අතවන නවතම අබෑර්තුවක් ඇති සුදුස්සා වනු අත.

විශේෂ ස්තුතිය - ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකරන ජනමාධ්‍ය පර්ෂදයට(MMF)

ඡායාරූප අන්තර්ජාලය ඇසුරින්...


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උ‍දෙසා........

Monday, December 13, 2010

රුහුණේ උරුමය කියාපාන

පනාකඩුවේ තඹ සන්නස..........

පනාකඩුව තඹ සන්නසේ ඡායා පිටපතක ඡායාරූපයක්

වසර 1948 පෙබරවාරි මස තවත් දිනයක් උදාවිය. මොරවක් කෝරලේ පනාකඩුව ගම්මානයට ඉතිහාසයේ වටිනාම දිනය එදින උදාවිය. කෘෂිකර්මාන්තය මත පදනම්වු ජීවන රටාවක් ප්‍රදේශයතුල පවතී. පනාකඩුව බෝගහදෙණියේ පිහිටි තම කුඹුරේ ඇළවේලි සකස් කිරීම සදහා සුරවීර ග‍මගේ කරෝලිස් හා ඔහුගේ පුතාවන සුරවීර ගමගේ සින්නෝරිස් නිවසින් පිටවිය. අතර මගදි හමුවන හැම කෙනෙක්ටම සිනහවකින් සංග්‍රහකරමින් පිය පුතු දෙපල තමන්ගේ කුඹුරට පැමි‍ණෙන ලදී.

"කුඹුරට වතුර හරවන් ඕන හින්දා අප්පොචිචි නියර උදැල්ලෙන් කැපුවා. කපල ඉවර වෙලා ඉහලින් තිබුනු කණ්ඩියෙන් තණ පිඩලි දෙකක් කපල එතනට දාන්න හැදුවා. ගහපු උදළු පාරට යමක් උදැල්ලෙ ගැටුණා දැනුනා. ඊ‍ට පස්සේ අරගෙන බලන කොට තඹ තහඩු තුනක් ඒක." දැනට ජීවිතයේ සැදෑ සමය ගෙවන සින්නෝරිස් එසේ පැවසුවේ එදා කුඹුරුවැඩ කරන අතර තුර තම පිය පුතු දෙපලට යමක් ලැබුනු බව පැවසීමටය.

පසුව එය ගෙදර ගෙනවිත් ලුණු ගොරක දමා තැම්බූ පිය පුතු දෙපල මෙය කුමක්ද යන්න පසක් කරගැනීමට නොහැකිව දීර්ඝ කාලයක් ගතකලහ. මේ පිළිබදව රට පුරාම ආරංච්ය පැතිර යන්නට විය. පසුව මෙය පනාකඩුවේ තඹ සන්නස යන්නට හදුනාගන්නා ලදී. මේ පිළිබදව වැඩි දුරටත් පුරාවිද්‍යා චක්‍රවර්ති කඹුරුපිටියේ වනරතන ස්වාමීන් වහන්සේ පෙන්වාදුන්නේ තඹ සන්නසෙහි අපරිමාන වටිනාකම ලොවට හෙලිකලේ සිංහල ඉතිහාසයේ බොහෝ සිදුවීමි සත්‍ය බව ප්‍රකට කරමිනි. පනාකඩුවේ තඔ සන්නස හදුනාගත් දින සිට පනාකඩුව ‍ෛඑතිහාසික තොරතුරු රැසකට වටිනාමක් එක්කලේය.

1055-1110 කාලයේ එවකට රජකම්කල පළවැනි විජයබාහු රජු විසින් තමන්ට උදව් උපකාර කරන ලද රුහුණු දඩනායක සින්නරු බිම් මුදල්නාවන් නැමැති පුද්ගලයකුට රාජකීය වරප්‍රසාද ලබාදීම තඹ සන්නස මගින් සිදුකර ඇත. "දිගින් අඩියකුත් අගල් එකහමාරක්ද, පළලින් අගල් තුනක් වැනි ප්‍රමාණයකින් සන්නස නිර්මාණය කර තිබේ. අගලකින් අටෙන් එකක් ගණකමක් ඇති පනාකඩුව තඹ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙක හමාරක් බරබව සින්නෝරිස් පවසයි." 1950 පෙබරවාරි මස 08වන දින මෙම සන්නස එවකට පැවති රජයට භාරදුන් බව සින්නෝරිස් වැඩිදුරටත් පවසයි.


තඹ සන්නස හමුවූ බෝගහදෙණිය කුඹුර

පනාඩුව තඹ සන්නස හමුවූ දැනට ජීවිතයේ සැදෑ සමය ගතකරන එස් ජී සින්නෝරිස්

එදා‍ මෙදා කාලය තුල පනාකඩුව ගම ‍ෛඑතිහාසික ප්‍රදේශයක් විය. බොහෝ දෙනා පනාකඩුව පිළිබද සොයා බලන ලදී. ඈත අතිතයේදී වැඩිම අවධානයටකට ලක්වූ පනාකඩුව ගම්මානය පිළිබදව අද වන විට කිසිදු අවධානයකට ලක් නොවීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.

"සන්නස රජයට පවර ගත්තේ ඩී එස් සේනානායක ආණ්ඩුව කාලේ. එතුම අපේ අප්පොච්චිට කඹුරුපිටියේ පැවති උත්සවයකදී රුපියල් පන්සීයක මුදල් තෑග්ගක් දීල කියපු කථාවක් තමයි අපිට සින්නක්කර ඉඩම් දෙන්නම්, ගම සංවර්ධනය කරල දෙන්නම් කියල. කොහේද ඒ එකක්වත් කෙරුනෙ නෑ." සින්නෝරිස් පවසන්නේ දුක්මුසු ස්වරූපයෙනි.

කෙසේ වෙතත් පනාකඩුව අපේ ඉතිහාසයට බොහෝ දේ එක්කර තිබේ. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා කිසිම කෙනෙක් පනාකඩුව පිළිබදව නොදන්නවා නොවේ. මාතර අශ්වාදයක් බදු වු ‍මොරවක්කෝර‍ලයේ පිහිටි මෙම සුන්දර ගැමි පරිසරය සුරැකිය යුතු ජාතික උරුමයක් වේ.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා.......

Friday, November 26, 2010

සුචිරිතෝදයට සෙනෙහසේ ලෙංගතුකම ලගාවූ දා......

ජ'පුර සිසුන්ගේ සෙ‍හෙහසක ලෙංගතුකම....

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශා‍යේ තෙවන වසර සිසු සිසුවියන්‍ ගේ සමාජ සත්කාරක වැඩසටහනක්....

දිනය 2010 නොවැම්බර් මස 25 වනදා මහරගම පමුණු සුචිරිතෝදය සමාජ සේව සංගමයේ නේවාසිකයන්ට එදින විශේෂ දවසකි. තනී වු ජීවිතවලට සතුට සෙනෙහස රැගෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශා‍යේ තෙවන වසර සිසු සිසුවියන්‍ පැමිණියේ සෙනෙහසේ අරුත ඔවුන්ට පවසන්නටය.

සුචිරිතෝදය සමාජ සේවා සංගමයේ දිවි ගෙවන්නේ ජීවිතයේ සැදෑ සමය සැහැල්ලුවෙන් ගතකරන වැඩිහිටියන් පමණක් නොව මාපිය සෙ‍නෙස නො‍ලැබුනු විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වගේම තරුණයන්ද මෙහි ජීවත් වෙති. ජීවිතයේ කිසිදු දවසක හරිහැටි කිසිදු කෙනෙකුගේ හවුහරණක් නොලැබූ මේ පිරිසට සුචිරිතෝදයද දයාබරත්වයෙන් පිරි සැබැවින්ම සෙනෙහෙබර පිරි මවකි. පියෙකි.

මෙම සහෘද හිතවතුන්ට සෙහෙහසේ සතුට ලබා දෙන්නට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශා‍යේ තෙවන වසර සිසු සිසුවියන්‍ට හැකිවීම භාග්‍යසම්පන්න අවස්ථාවකි. එය ඔවුන්ගේ ව්‍යාපෘතින් නිසි අයුරින් නිමකිරීමක් නොව සැබැවින්ම ඉටුකලව තිබූ සමාජ සත්කාර්යකි. ගොඩනැගිලි සහ ඇදන් ප්‍රතිංස්කරනයකිරීම, තීන්ත ආලේප කිරීම ඇද ඇතිරිලි,මෙට්ට,ඔවුන්ට අදාල වෙනත් උපකරන පමනක් නොව රසවත් කෑම වේලකින් පවා සංග්‍රහ කිරීමට පවා මෙම සිසුන් කටයුතු කර තිබුනි.

සුචිරිතෝදයේ නේවාසිකයන්ගෙන් කො‍ටසක්.

නේවාසිකයන්ට ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශා‍යේ තෙවන වසර සිසු සිසුවියන්‍ විසින් මේට්ට පරිත්‍යාග කල අවස්ථාව.

මෙම වැඩසටහන පිළිබද අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය ජ්‍යේෂ්ඨ කථිකාචාර්යය ආචාර්ය ජනක් කුමාරසිංහ මහතා පැවසුවේ "විශ්ව විද්‍යාල සිසුන් පිළිබදව සමාජය බලන්නෙ අදුරු ඇසකින. නමුත් මේ වගේ සමාජ වැඩසටහන් කිරීම පිළිබද සමාජය මේ දරුවන්ගැන කථාකරන්නෙ නැහැ. මේක තමයි වෙන්න ඕන. මේ දරුවන් මේ වගේ සමාජ වැඩසටහන් කරන්නේ ඉතා අසීරුවෙන්. අධ්‍යාපන කටයුතු සිදුකරන අතර තුර බොහොම අසීරුවෙන් මුල්‍ය ප්‍රතිපාදන සොයාගෙන විෂය භාහිර මෙවැනි සමාජ ක්‍රියාකාරකම්වල නියැලෙනවා ඒ නිසා අපි මේ වැඩසටහන නිරන්තරයෙන් අගය කරන්න ඕන."

විශ්ව විද්‍යාල සිසුන් පිළිබදව භාහිර සමාජය දකින ආකල්පය වෙනස් කිරීමට මෙය කලයුතු වැඩසටහනක් බවයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේ." විශ්ව විද්‍යාල සිසුන් දිහා භාහිර සමාජය බලන්නෙ වැරදි ඇසකි. එය වැරදි අදහසක්. මෙවැනි තත්වයක් යටතේ මේ ව‍ගේ සමාජ සත්කාරයයන් සිදුකරන මේ සිසුන්ව අගය කරන්න ඕන." ලංකාව වැනි රටක ති‍බෙන සදාචාර සම්පන්න සංස්කෘතිය ගැනත් කථිකාචාර්යය වරයා කරුණු පවසයි."අපිටම කියලා සංස්කෘතියක් සදාචාරයක් තියෙනවා. ඒවගේ වෙලාවක මේ වගේ නිවාස අපේ රටේ තිබීම සදුසු නැහැ. නමුත් සමාජයේ ‍කොහේහෝ සිදුවූ වැරැද්දකින් මේ වගේ නිවාස අපේ රටේ බිහිවෙලා තියෙනවා. අනාගතයේදී මේවගේ නිවාස තව තවත් බිහි නොවන්නට අපි වගබලා ගන්න ඕන. කොහොම වුනත් විශ්ව විද්‍යාල සිසුන් විදියට මේ දරුවන් කරපු මෙම වැඩසටහන මම බොහොම අගේ කරනවා."

Align Centerපරිත්‍යාග කල මේට්ට දැමූ ඇදන්.


සුචිරිතෝදයේ මේ වන විට දිවි ගෙවනු ලබන්නේ තරුණ අය පමණක් නොව වැඩිහිටියන්ද ඒ අතර සිටී."මගේ නම ප්‍රේමරත්න. ගම කොට්ටාවේ. දැන් වයස අවුරුදු 56ක් වෙනවා. මෙතනට ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. කාගෙන්වත් පිහිටක් නොලැබුන හින්දයි මෙතන‍ට ආවේ. ඇත්තටම මෙතන මට ගොඩක් වටිනවා. අද විශ්ව විද්‍යාලයේ දරුවො ඇවිත් අපිට තෑගි බෝග දුන්නා. සංග්‍රහකලා. ඇත්තටම ඒ දරුවන්ට ගොඩක්ම පිං. අද මේ තරුණ දරුවො හරි වැඩි හිටියන්ට සලකන්න යොමුවෙලා ඉන්න එක මට ලොකු සතුටක්. අනාගතයේදී මේ දරුවන්ට සාර්ථකවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා." ප්‍රේමරත්න හැගුම් බරව පැවසීය.

ප්‍රේමරත්න මහතා....

කෙසේ වුවද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශයේ තෙවන වසර සිසු සිසුවියන්‍ ගේ සමාජ සත්කාරක වැඩසටහන අපද අගය කල යුතු කටයුත්තකි. දියුණුව හමුවේ හමුවේ සමාජය ආර්ථිකය පසුපස හබා යයි. මෙවැනි තත්වයක් යටතේ වුවද අගනුවරට ආසන්නයේ පිහිටි සුචිරිතෝදය සමාජ සේවා සංගමයේ නේවාසිකයන් වෙනුවෙන් සිදුකරන ලද මෙම වැඩසටහ සැබැවින්ම ඉටුවිය යුතු කටයුත්තකි. යුතුකමකි.

අවසානයේ අපද මෙසේ කියමු. ආදරණීය නංගියේ මල්ලියේ සුචිරිතෝදය‍ට සෙහෙහස ගෙනාවට‍ ඔබට ගොඩක් පිං. ඔවුන්ට ලෙංගතුකමේ සෙනෙහස පිදුවටත් පිං. මනුසත්කමේ අගය මේ විසල් ලොවට කියාදුන්නට ඔබ සැමට ගොඩක්ම පිං.


ප්‍රතිභා‍ මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා......

සා‍පෙළ දරුවන්ට අපෙන් අත්වැලක්....

ප්‍රතිභා එතමුතුව සහ කඹුරුපිටිය ප්‍රතිභා 4u සංදයේ මෙහෙයවීමෙන් ‍‍2010 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දරුවන් සදහා නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් කඹුරුපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වන්නට යෙදුනි. ඒ සදහා සහභාගිවූ සිසු දරුවන් ඡායාරූපයේ දැක්වේ.


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා...


Wednesday, November 17, 2010

චිරං ජයතු.....ජනපතිතුමනි...


හිරු සදු නුඹයි තුන්බිය දුරු කළ රටක

ජනපති නුඹයි ඉසුරින් පිරි හෙට දිනක
චිරං ජයතු.........


ජනපති දෙවැනි පදවිප්‍රාප්තියට
කඹුරුපිටිය ප්‍රතිභා මාධ්‍ය ඒකමුතුව.ප්‍රතිභා ඒකමුතුව සහ ප්‍රතිභා 4u සංසදය
උණුසුම් සුභ පැතුම් ඒක්කරයි........
..

දැයට ෙසවන

ජනපති පදවිප්‍රාප්තියට සමගාමීව
පැළ ඒෙකාෙලාස් ලක්ෂයක් සිටුවීෙම් වැඩසටහන ඉතා සාර්ථකව

කඹුරුපිටිය ප්‍රාෙද්ශීය සභාවත් වැඩසටහ සාර්ථකව ක්‍රියාත්මක කරයි.




කඹුරුපිටිය ප්‍රාෙද්ශීය සභාෙව් සභාපති චන්දන සිරිබද්ධන මහතා පැළයක් ෙරා්පණය කල අයුරු

ජනපති පදවිප්‍රාප්තිය සමරනු වස විනාඩි ඒෙකාළහක් තුල පැල ඒෙකාෙළාස් ලක්ෂයක් සිටුවීෙම් වැඩසටහන ඉතා සාර්ථකව පසුගියදා පැවැත්වුනි. ෙම් අනුව කඹුරුපිටිය නගරය තුලද පැල සිටුවීෙම් වැඩසටහනක් පැවැත්වුනි. ෙව් සංවිධානත්වෙයන් පැවති ෙමම වැඩසටහ සදහා කඹුරුපිටිය ප්‍රාෙද්ශීය සභාෙව් සභාපති චන්දන සිරිබද්ධන මහතා අැතුළු මහජන නිෙයා්ජිතයන්, පාසල් සිසුන් හා මහජනතාවද සහභාගිවී සිටියහ.


ප්‍රතිභා මාධ්‍ය ඒකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උෙදසා........

Thursday, October 28, 2010

ප්‍රතිභා එකමුතුවේ සංවිධාන දායකත්වයෙන්

ඉලක්ක කණ්ඩායම් වැඩසටහනක්.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ සාමාජිකයන්ට අළුත් අත්දැකිමක් ලබාදෙමින් යන්ග් ඒෂියා ටෙලිවිෂන් (YA TV) ආයතනයේ මැදිහත්වීමෙන් ඉලක්ක කණ්ඩායම් සාකඡ්ඡාවකට සහභාගී වීමට එකමුතුවේ සාමාජික පිරිසට අවස්ථාව ලැබුණි. 2010 ඔක්තෝබර් 29 (අද දින) දින දිනය පුරා පැවැත්වෙන‍ මෙම වැඩසටහන සඳහා වයස් කාණ්ඩ දෙකක් යටතේ තරුණ තරුණියන් 20 දෙනෙකු සහභාගී වේ.‍

වයස අවුරුදු 18ත් 25ත් අතර එක් කණ්ඩායමක් සහ අවුරුදු 25ට වැඩි තවත් කණ්ඩායමක් ලෙස මෙම වැඩසටහන පැවැත්වේ. රූපවාහිණි වැඩසටහන් පිළිබඳව මෙම සාකඡ්ඡාව පැවැත්වේ.

කඹුරුපිටිය ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මෙම වැඩසටහන මාධ්‍ය ලෝකයේ ඉදිරියට ඒමට සිටින නවකයන්ට නවමු අත්දැඅකීමක් ලෙස සඳහන් කල හැකිය.

එම වැඩසටහනට සහභාගි වන පිරිසගේ අත්දැකීම් ඉදිරියේදී බලාපොරොත්තු ‍වන්න..

Tuesday, September 14, 2010

ආධුනිකයන්ට අතදීමක්.....


ගුවන් විදුලි මාධ්‍ය පුහුණු වැඩමුළුවක්.....

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව, ප්‍රතිභා මිතුරු එකමුතුව සහ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව එක්ව ගුවන් විදුලි මාධ්‍ය පුහුණු වැඩමුළුවක් නොම්ලේ පැවැත්වීමට කටයුතු සංව්ධානය කර තිබේ. සැප්තැම්බර් මස 21 සහ 22 යන දිනයහිදී කඹුරුපිටිය ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී මෙම පුහුණු වැඩමුළුව පැවැත්වේ.

සන්නිවේදනය,ගුවන් විදුලි මාධ්‍ය යනු කුමක්ද, ගුවන් විදුලියට ලිවීම, වැඩසටහන් ඉදිරිපත් කිරීම, වැඩසටහන් නිෂ්පාදනය, වැඩස‍ටහන් සංස්කරනය හා මත්ද්‍රව්‍ය නිවාරණයට මාධ්‍ය භාවිතා කරන්නේ කෙසේද යන්න මෙම වැඩසටහන මගින් මූලික අවබෝධය ලබාදීමට‍ කටයුතු යොදා ඇතිබව ප්‍රතිභා මිතුරු එකමුතුවේ සභාපති ඉන්ද්‍රජිත් ගමගේ මහතා පැවසීය.

"මෙම පුහුණු වැඩ සටහන මගින් අපි අරමුණු කරන්නේ විද්‍යුත් ජනමාධ්‍ය පිළිබදව ග්‍රාමීයව ජීවත්වන සිසු දරු දැරියන්‍ට හා තරුණ තරුණියන්ට මූලික අව‍බෝධයක් ලබාදීමයි. ඒ වගේම මේ වගේ වැඩසටහන් හරහා තොරතුරු තාක්ෂණයට හා ජනමාධ්‍ය කරනයට ග්‍රාමීය ජනතාව පෙළඹවීම‍ට මුලික ආරම්භයක් ලෙස මෙම වැඩසටහන අපි ක්‍රියාත්මක කරනු ලබන්නේ" ඉන්ද්‍රජිත් ගමගේ වැඩිදුරටත් පැවසීය.

කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් සිසුන් සහ පාසල් හැරගිය තරුණ තරුණියන් රැසක් මෙම වැඩසටහනට සහභාගිවීම‍ට නියමිතය."මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුලින් ඉදිරියේදී අප කඹුරුපිටිය නගරය මූලික කරගෙන ආරම්භ කිරීමට නියමිත අන්තර් ජාල ගුවන් විදුලි විකාශය සදහා ආරම්භක ‍වැඩසටහනක් ලෙසද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට‍ බලාපො‍රොත්තු වනවා." ඉන්ද්‍රජිත් ගමගේ වැඩිදුරටත් පැවසීය.

පුහුණුව අවසානයේ පුහුණු ලාභීන්ට සහතික පත්‍රයක් පිරිනැමීමටද කටයුතු යොදා තිබේ..


නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා...
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

Tuesday, August 17, 2010

Extremely for women’s - අතිශයින්ම කාන්තාවන්ට පමණයි.

Very important to be careful when you travel by bus or train….


Mobile phone is very popular equipment today. But in our present society mobile phones are main tool for some group of people who are interested in sex. Because of this reason, specially ladies have to be careful when they travel by public transport services.

බස් රථයේ, දුම්රියේ ගමන් කරන ඔබ මේ පිළිබදවත් විමසිලිමත්ව සිටීම වැදගත්.......

ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රධාන මෙවලමක් ලෙස ජංගම දුරකතනය පත්ව තිබේ. අමතර පහසුකම් රැසකින් සමන්විත නවීන පන්නයේ ජංගම දුරකතන ඉතා පහසු මිළට ඕනෑම කෙනෙකුට මිළදී ගැනීමට හැකිය.

දුරකතන ඇමතුමක් සදහා භාවිතා කරන ජංගම දුරකතනය වර්තමාන සමාජයේ කාමාතුරයන්ගේ ප්‍රධාන අවියක් ලෙස භාවිතා කරන්නේ එහි අන්තර්ගතව තිබෙන කැමරාව නිසාමය.

කාමතුරයන්ගේ අත ඇති දුරකනයෙන් සිදුකරන්නා වූ එක් අදූරු පැතිකඩක් පිළිබද ඔබ දැනුවත් කිරීම අපේ යුතුකමකි.

කාන්තාවන් ගවුම්, සායවල් ඇදීම සාමාන්‍ය දෙයකි. එහෙත් එම ගවුම් දණහිස‍ට වඩා උඩින් ඇදීම අද සමාජයේ බහුලව දක්නට ලැබෙන්නකි. විලාසිතා කිරීම සුන්දර ලස්සන උවද ඒ තුළින් ඔබ නොදැනුවත්වම සිදුකර ගනු ලබන්නේ බොහෝ කාමාතුරයින්ගේ ගොදුරු බවට පත්වීමකි.

බස්රථයේ හෝ දුම්රියේ වාඩිවී ජංගම දුරකථනයේ කැමරාව සහිත කොටස උඩු අතට හරවාගෙන සිටින පුද්ගලයන් දෙස විමසිලිමත්ව බලන්න. ඔවුන් සිය කැමරා කාචය තුල සිටගෙන සිටින කාන්තාවන්ගේ නිරුවත ඡායාරූප ගත කරන බව තොරතුරු වාර්තාවෙමින් පවතී. ඒ තුලින් ඔබ නොදැනුවත්වම කාමාතුරයන්ගේ ගොදුරක් බවට පත්වී හමාරය.

මෙම තත්වයට වැඩි වශයෙන් ගොදුරුවන්නේ පාසල් සිසුවියන්ය. මෙවැනි වීඩියෝ දර්ශන අන්තර් ජාලයට මුදාහැරීම තුළින් ඔබ නොදැනුවත්වම ඔබේ සිරුර ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කෙරේ.

එවැන් පහත් සතුටක් ලබන නින්දිතයින්ගෙන් ඔබේ සෙ‍ායුර, සොයුරියන්, දියණියන් රැකගැනිම‍ට වග බලාගැනීම ඔබගේ යුතුකමකි.

ලැජ්ජාවට බියෙන් තමන්ගේ ජීවිත වලින්ද වන්දි ගෙවන අහිංසක යුවතියන් ගැන කතා අප ඕනෑ තරම් අසා ඇත. මේ තත්වයට ඔබත්, ඔබේ දියණිය, සොහොයුරිය, යෙහෙළිය දැනටමත් ගොදුරුවී ඇද්දැයි අප ‍නොදනිමු. එහෙත් යම් ‍දෙයක් සිදුවන්නට පෙර ඒ ගැන ඔබව දැනුවත් කිරීම අපේ යුතුකමකි.

විශේෂයෙන්ම බස්රථයේදී හෝ දුම්රියේදී ඔබ නැගිට ගමන් කරනවානම් ඔබ අසල වාඩි වී සිටින පුද්ගලයා අත ඇති ජංගම දුරකථනය පිළිබදව විමසිලිමත්ව සිටින්න. එමගින් වටිනා ජීවිතයක් කාමාතුරයන්ගේ ගොදුරක් බවට පත් නොවනු ඇත.

ලිංගික අධ්‍යාපනය පිළිබඳව සකස් කෙරෙන ග්‍රන්ථයක් උදෙසා තොරතුරු සොයා යාමේදී මේ තොරතුරු අනාවරණ‍ය වූයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකරන ලද සමීක්ෂණ ඇසුරෙනි.


ඡායාරූප අන්තර් ජාලය ඇසුරින්.

නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා......

සටහන,

.එච්.ඩී.උදාර සංජීව - මාතර

Thursday, August 5, 2010

දකුණෙන් ඇසෙන තවත් කතාවක්....

මෙහෙමත් මිනිස්සු..........

හැම නෙනෙකුටම ආගමක් තිබේ. ඇදහීමට ආගමික ශ්‍රාස්තෘවරයෙක් සිටියි. මේ හැම ආගමක දර්ශනයක් හෝ ධර්මයක්ද තිබේ. එය කුමක් වුවත් එහි ශ්‍රාස්තෘවරුන් දේශනාකරන්නේ සැමගේ යහපත උදෙසාය.

ලංකාව බෞද්ධාමික රටකි. වැඩි වශයෙන් වෙහෙර විහාර පෞරානික ස්ථාන දැක ගැනීමට පුළුවනි. නමුත් තමන්ගේ ආගම තමන් විසින්ම විනාශකලහොත් එය සමස්ථ සමාජයට බලපාන කරුනකි. තමන්ගේ ආගමික ස්ථාන විනාශකර ගැනීම තම ආගම වෙනුවෙන් කරනුලබන නින්දිත ක්‍රියාවකි. . එවැනි සිද්ධීන් පහුගිය දියන්හිදී විවිද ප්‍රදේශවලින් අසන්නට දකින්නට ලැබුනි. මේවන විට ආගමික ස්ථාන රැකගැනීම අරභයා භික්ෂූන් වහන්සේලා මාරන්තික උපවාස ආරම්භකර තිබේ.

නැගෙනහිර පළාතේ පෞරාණික වෙහෙර විහාරස්ථාන සංචාරක හෝටල් ඉදිකිරීම සදහා විනාශකරද්දී දකුණු පළාතේ පෞරාණික වෙහෙර විහාරස්ථාන නිධන් ලබාගැනීම සදහා විනාශ කරති.

මාතර කඹුරුගමුව ගරාඩුව නදිතීරාරාමය පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂිත ‍‍‍ෛඑතිහාසික විහාරස්ථානයකි. මෙම විහාරස්ථානයේ ඉපැරිණි බුද්ධ මන්දිරයට පසුගිය දිනක ඇතුළුවූ යමිකිසි කණ්ඩායමක් එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ බිදදමා තිබේ. බුද්ධ ප්‍රතිමාවේ සිරස සහ පපුපෙදෙස හාරා නිධන් ලබාගැනීම සදහා විනාශකර තිබීම සමස්ථ බෞද්ධ ජනයාගේම හිත කම්පාකරන සිදුවීමකි.


බුද්ධ ප්‍රතිමා වහන්සේ විනාශකර තිබෙන අයුරු

සිරස් පථයේ අගල් හයක් දිගට‍ සහ අගල් නවයක් පළලට කවාකාර කොටසක් බිද ඇති අතර එම කොටස තුළ කිසියම් නිධන්වස්තුවක් තැන්පත් කර ඇති බවට කුහර ලකුණක් පෙන්නුම්කර ඇත. එම නිධන් කොටස බිදීමෙන් පසු සිරස තවදුරටත් බිදීම නතරකර ඇති බවට ලකුණු ඇත.

බුද්ධ ප්‍රතිමාවේ සිරස සහ පපුපෙදෙස හාරා එහිතිබු නිධන්වස්තු ඉවතගත් බවක් දැකගත හැකිය. මෙම දසුන් කඹුරුගමුව ගරාඩුව ප්‍රදේශයේ පමණක් නොව සමස්ථ බෞද්ධනයාගේම හද කම්පාකරන සිදුවීමකි.

"‍මේ විහාරස්ථානය ඉපැරිණි විහාරස්ථානයක්. ප්‍රදේශයේ අධ්‍යාත්මික හා සදාචාරාත්මක දියුණුවට විශාල සේවාවක් මෙම විහාරස්ථානය මගින් ‍ඉ‍ටුකෙරුනා. නමුත් මේ විහාරස්ථාන‍යේ ‍ඉපැරණිබව රදා පවතින මේ බුද්ධ මන්දිරය විනාශකරලා. මේ ජාතික අපරාධයක්. මීට පෙරත් මේ විහාරස්ථානය සතුව තිබෙන බෝධී රුක්ෂය සමීපයේ විශාල උමගක් හාරලා නිධන් ලබාගන්න. දැන් ඒකෙන් බෝධි රුක්ෂයත් විනාශවෙන්න පටන් අරගෙන." ගරාඩුව නදිතීරාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙණිපිටියේ සෝමගුණ ස්වාමින් වහන්සේ පැවසූහ. "මේ විහාරස්ථානයේ වැඩසිටි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මෙම සිද්ධියෙන් පසුව අතුරුදහන් වෙලා. දැනට පොලීසියට පැමිණිල්ලක් කරල තියෙන්නේ ඒකෙත් ප්‍රධාන සැකකරු විදියට එම ස්වාමීන් වහන්සේ කියලයි සදහන් කර තියෙන්නේ" විහාරධිපති ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පෙන්වාදෙනු ලැබීය.

නදිතීරාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙණිපිටියේ සෝමගුණ ස්වාමින් වහන්සේ

මෙම ඉපැරණී විහාරස්ථානයේ ඇති පෞරාණික වටිනාකම හේතුවෙන් මෙය පු‍රාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ ලයිස්තුවටද ඇතුලත් කර තිබේ. නමුත් විහාර මන්දිරයේ ‍ප්‍රධාන ‍දොරටුව සවිශක්තිමත් නොමැති කමින් මෙය‍ට ඕනෑම පුද්ගලයකුට ඇතුලත් විය හැකිබව ගම්වාසීන් පෙන්වා දෙති.

ගම්වැසියන් පවසන මේ අදහස් පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ස්ථානභාර නිළධාරී හිමාලි අතපත්තු මහත්මියගෙන් විමසු අවස්ථාවේ ඇය පෙන්වා දෙනු ලැබූයේ "මෙම විහාරස්ථානයේ විහාර මන්දිරයේ දොරවල් සකස් කිරීම සදහා ඇස්තමේන්තු සකස්කරමින් සියටදී මෙම විනාශය සිදූවූ බව දැනගන්නට ලැබුනු බවය"

මේ සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක මහේෂ් කුමාර මහතාගෙන් කල විමසීමකදී පවසා සිටියේ " සිද්ධිය හා සම්බන්ධ සැකකාර හිමිනම ප්‍රදේශයෙන් පලාගොස් ඇතිබවත් එම චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු සිදුකරන බවත්ය."

බෞද්ධාගම විනාශකිරීම සදහා විවිද බලවේගයන් ක්‍රියාත්මක වන මොහොතක මෙවැනි විනාශයන් සිදුකිරිම මගින් රටේ පවතින සාරධර්ම රැකී තිබේද යන්න පිළිබද නැවත නැවත සිහිපත්කල යුතුව තිබේ. කෙසේ වෙතත් පුජා භුමි රැකීම සදහා ආගමික භේදයකින් තොරව සියල්ලම එකතුවිය යුතු කාලය දැනටමත් උදාවී ඇත.

අවසානයේ තවත් කරුණක් සිහිපත් කල යුතුව ඇත. එනම් "අපේකම රැක්කේ ගමේ පන්සල" බවයි....


විශේෂ ස්තුතිය - මාධ්‍යවේදී සිරි වාව්වගේ මහතාට....

නිර්මාණශිලී මාධ්‍ය කලාවක් උදෙසා......

Tuesday, August 3, 2010

බලනු කිම දොසා....!

තවත් උද්ඝෝෂණයක්...
රුහුණු විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ සුසන්ත බණ්ඩාර ශිෂ්‍යාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු මෙතෙක් අත්තඩංගුවට නෙගැනීමට විරෝධය පළකරමින් අද (03) වැනිදා මාතර නගර මධ්‍යයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණි.

රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුනි. සුසන්ත බණ්ඩාර සිසුවාගේ ඝාතනයේ වගකීම ශිෂ්‍ය ව්‍යාපාර මත පැටවීම සඳහා ගනු ලබන උත්සාහය වැරැදි බවත් මෙහි සැබෑ ඝාතකයන් සෙවිම සඳහා පොලීසිය කිසිඳු පරික්ෂණ කටයුත්තක් නොකිරීමට විරෝධය පා මෙම උද්ඝෝෂන ව්‍යාපාරය සංවිධානය කළ බව රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.

රුහුණු විශ්ව විද්‍යාලය අසලින් ආරම්භකරන ලද උද්ඝෝෂණය මාතර නගරය දක්වා පාගමනින් පැමිණෙන ලදී. මාතර නගරයේ මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලීසයද යොදවා තිබුනි. නමුත් ඉතා සාමකාමී ලෙස පැවැත්වු මෙම උද්ඝෝෂණය සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 500කට ආසන්න ප්‍රමාණයක් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් සහභාගිවී සිටියහ.

පැය දෙකක පමණ කාලයක් උද්ඝෝෂකයන් මාතර බස් නැවතුම්‍ පොළ අසල රැදී සිටියහ.










නිර්මාණශිලී මාධ්‍ය කලාවක් උදෙසා

Friday, July 30, 2010

යුක්තිය වෙනුවෙන් පෙළ ගැසෙමු.
රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කරයි....

රුහුණු විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ප්‍රහාරයකින් මියගිය සුසන්ත බණ්ඩාර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සමාජය තුල පවතින්නේ නොවිසදුනු ගැටළුවකි. මේ හේතුවෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද පෙරවරුවේ (2010-ජූලි 31) මාතර නගරයේ ජනතාව දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරත විය.

"යුක්තිය වෙනුවෙන් පෙළ ගැසෙමු" යන මැයෙන් සදහන් පත්‍රිකා බෙදා හැරීම සදහා රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් විශාල සංඛ්‍යාවක් සහභාගිවී සිටියහ. රුහුණු විශ්ව විද්‍යාලයේ සිට මාතර නගරය දක්වා පාගමනින් පැමිණෙමින් මෙම පත්‍රිකා බෙදා හැරීම සිදුවිය.

"රුහුණු සරසවියේ සුසන්ත බණ්ඩාර සිසුවා මිහිදන් කර අවසානය. මෙම මරණයේ සැබෑ චූදිතයන් නිදැල්ලේ සිටිමින් තවත් සිසුවකු චූදිතයා බවට පත්කර එම සිසුවාගේද ජීවිතය විනාශ කිරීමට අර අදිමින් සිටී. මෙවන් අවාසනාවන්ත සිදුවීම් තවත් මිනිසෙකුට සිදු නොවීමට වගබලා ගැනීම පුරවැසියන් ලෙස අප සියළු දෙනාගේම වගකීමයි." යනුවෙන් මාතර නගරයේ ජනතාවට බෙදාහරිනු ලැබු පත්‍රිකාවල සදහන්වේ.


"මේවන විට ශිෂ්‍ය ව්‍යාපාර මත පටවනු ලබන ‍මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර මින් අද සිදුවී ඇත්තේ රටට වැරදි මතයක් ලබාදීමකි. ඉදිරියේදී ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මීට වඩා ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට වන්නෙත් නැහැ." මේ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක ‍මහතා පැවසුවේය.

ඉතා සාමකාමී අයුරින් මෙම අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරය සිදුවූ අතර ශිෂ්‍යයන් විසින් මේ සම්බන්ධයෙන් විවිද සටන් පාට ප්‍රදර්ශනය කරන ආකාරයද දැකගත හැකි විය.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් වෙනුවෙන්....
බ‍ටලීයේ කජු ළදුන්ගේ කථාව......

මේදසුන නුවර කොළඹ මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙක්ට දැකගත හැකිය. පස්යාල බටලීය කජුගම ප්‍රදේශය කජු අලෙවිය සදහා ප්‍රසිද්ධියක් ලබාදෙයි. මාර්ගය දෙපස කුඩා වෙළද කුටිතුල සිට කජු අලෙවිකරනු ලබන කාන්තාවන් දැකගත හැකිය. එක පැහැයක් සහ එකම වර්ගයේ ඇදුමකින් සැරසුනු මෙම කාන්තාවන් දෙස නුවර පාරේ ගමන් කරනු ලබන ඕනෑම කෙනෙකුගේ නෙත් යොමුවෙයි.

කජු මිළ අධික පලතුරුවර්ගයකි. මීට වසර කිහිපයක සිට මෙම ප්‍රදේශයේ කජු සදහා හොද වෙළද පොලක් තිබුනද මේවනවිට වෙළ‍පොල තත්වය පහත බැස තිබෙන බවක් දැක ගතහැකිය. දැනට බටලීයේ කජු අලෙවිකරනු ලබන්නේ සීමිත පිරිසකි. සමහර අය වසර ගණනාවක සිට කජු අලෙවියට යොමුවී සිටිති. තවත් අය මෑත කාලයේ මෙම ව්‍යාපාරය සදහා යොමුවී ඇත. ඒ කෙසේ වුවද දැනට මේ අයගේ අලෙවිය පහත වැටීම හේතුවෙන් ආර්ථිකයද යහපත් මට්ටමක නොපවතී. බොහෝ දෙනාගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවටද මෙය පත්ව තිබේ.

"ඒ දවස්වල හොද ඉල්ලුමක් තිබුනා දැන්නම් බිස්නස් පහත වැටිලා. දැනට කුරුනෑගල, අම්පාර, බිබිල වැනි ප්‍රදේශවල මුස්ලිම් වෙළදුන් තමයි අපිට කජු ගෙනත් දෙන්නේ. අපි ඒවා හොදට වේලලා මද ගලවල අලෙවි කරනවා" කජුගම ප්‍රදේශයේ 1971 වර්ෂයේ සිට කජු ‍අලෙවියේ නිරතවී සිටින ගුණවතී අම්මා පැවසුවාය.දැනට විදෙස් සංචාරකයන් පවා මේ ස්ථානයේ නතර නොවන බවයි ගුණවතී අම්මා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබූවේ" ඒ දවස් වල‍ විදෙස් සංචාරකයෝ නිතරම මේ ස්ථානයේ නතර වෙලා කජු අරගෙන යනවා. දැන් ඒ එන්නෙත් නෑ.ඒකට හේතුව විදියට මට හිතෙ‍න්නේ සංචාරකයන්ට මග පෙන්වන අය අපි වගේ සුළු ව්‍යාපාරිකයන් ලගට සංචාරකයන්ට එන්න දෙන්නෑ. එයාල කරන්නේ ලොකු ලොකු බිස්නස් කරන සුපිරිතැන් වලට එක්ක යන එක. ඒක අපිට ලොකු අවාසියක්" තමන්ට ආර්ථීක හානිය සිදුව තිබෙන ආකාරය ගැන ගුණවතී අම්මා පෙන්වාදෙයි.

"මම දැනට අවුරුදු තුනක් විතර වෙනවා මේ බිස්නස් එක කරන්න පටන් අරගෙන. දැන් දවසේ ගාණවත් හොයා ගන්න බෑ. වැඩියෙන් ඉතින් අලෙවියක් තියෙන්නේ නිවාඩු දවස්වලටයි සති අන්ත දවස්වලටයි විතරයි. නැත්නම් ඒත් නෑ.බොහොම අමාරුවෙන් තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ" බටලීයේ කජු අලෙවියේ නියැලීසිටි සිටි නිම්මි නිලුෂා පැවසුවාය."අපි අමු කජු කිලෝ එකක් රුපියල් අටසිය පනහක් වැනි මුදලකට ගන්නවා. ඒවායේ පොතු ඇරල අපි විකුනන්නේ කිලෝ එකක් රුපියල් නවසිය පනහකට විතර." නිම්ම් කජුවල පවතින මිළගනන් තත්වයත් පැවසුවාය. තිබෙන ආර්ථික ගැටළු හමුවේ බොහෝ දෙනා වෙනත් රැකියා සදහා යොමුවී සිටින බවයි නිම්මි වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ."‍දැන් බොහෝ දෙනා මේ ව්‍යාපාර කටයුතුවල‍ට යොමුවෙන්නෙ නැහැ. ඒයාල බොහෝ දෙනෙක් වෙනත් වෙනත් රැකියා හොයාගෙන කොළඹට ගිහිල්ලා. තියෙන ආර්ථීක ගැටළු හින්ද තමයි මෙවැනි තත්වයක් උදාවෙලා තියෙන්නේ" නිම්මි පවසයි.

"අපේ මේ ව්‍යාපාරය පාරම්පරිකව පැවත එන එකක්. ඒකාලේ ඉදලම ‍මේ විදියට රෙද්දයි බෝරිච්ච් හැට්ටෙයි තමයි ඇන්දේ. ඒක දැන් අපේ අන්‍යතාව වෙලා. ඒ වුනත් දැන් ගොඩක් අඩු වයසේ අය තමයි මේ කජු අලෙවි කටයුතුවල නියැලිලා ඉන්නේ. ඒ අය දිහා පැමිණෙන පුදගලයන් වපර ඇහින් පවා බලනවා. එවැනි සිදුවීම් පහුගිය කාලෙ සිදුවුනා" කජුගම කජු අලෙවියේ නිරතවී සිටින වයස අවුරුදු 26ක් පමණවන දිමුතු කුමාරි එසේ පැවසුවේ කජුගම කජු ලියන් දෙස සමාජයේ වෙනත් පුද්ගලයන් දකින ආකාරය පැවසීමටය." මොන දේ වුනත් අපි කියන්නේ මේක අපේ අන්‍යතාවක් කාටවත් කරදරයක් නැතිව නිදහසේ කරගෙනයන්න පුළුවන් රස්සාවක්. මාර්තු අප්‍රෙල් මාසවලට අපි කජු අ‍රගෙන ඇවිත් ඒවා ගබඩා කරල තියල තමයි පසු කාලයට අලෙවි කරන්නේ. මේකෙන් තමයි අපි ජීවත්වෙන්නේ." දිමුතු කුමාරි අවසන් වශයෙන් මෙසේ පැවසුවේ නුවර පාරේ ගමන් කරනවිට තම අලෙවි ස්ථානයන්ට පැමිණ යන මෙන් ආරාධනා කරන්නාක් මෙනි.

අමුකජු වේලීමට දමා ඇති අයුරු


කජු පැකට්කර අලෙවියට තබා තිබෙන අයුරු

ප්‍රතිභා මාධ්‍ය එකමුතු
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා..

යාපහුව රාජධානියේ

ගොවි රජවරුන්ගේ අද දවස............?

යාපහුව අපේ මානව ශිෂ්ඨාචාරයේ තවත් එක් සංධිස්ථානයකි. එමෙන්ම 13 වැනි සියවසේ දශකයක් පමණ කෙටි කාල සීමාවක් සදහා දිව‍යිනේ අගනගරය බවටද පත්ව තිබු පැරණි නගරයකි. පොලොන්නරුව රාජධානියෙන් පසුව නිරන්තරයෙන් ඇතිවුන විවිද සතුරු ආක්‍රමණ හමුවේ වැදගත් ආරක්ෂක ස්ථානයක් ලෙස මෙය භාවිතා කර තිබෙන බව සාක්ෂි හමුවී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‍යට අයත්ව යාපහුව පිහි‍ටා තිබේ. ප්‍රාග් ‍ෛඑතිහාසික අවධියේ පටන් පූර්ණ ජනාවාසයක් බවට යාපහුව හා අවට ප්‍රදේශ පත්ව තිබේ. අතීතයේ පටන් කෘෂිකර්මාන්තය ප්‍රදේශය තුල දැකගත හැකි විය. වී ගොවිතැන, හේන් ගොවිතැන සහ කිරි හරක් පාලනය මේ අනුව සිදුවිය. එකල රට පාලනය කල ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ අගනගරය බවට පත්ව තිබු මෙය ගොවි රජවරුන්ගේත් අග නගරයක් බවටද පත්විය.

අතීතයේ පටන් වී ගොවිතැන බහුල වශයෙන් මහව ප්‍රදේශය තුල සිදුකෙරේ. වර්තමානයේ කටුක භුමියක දුෂ්කර ක්‍රියාවක් මැද යල මහ කන්න වග‍ා කිරීමට ගොවියන් යොමුවී සිටිති. එයිනුත් වැඩි වශයෙන් වගා කටයුතු කරනු ලබන්නේ මාස් කන්නයේ පමණි.

" වැව් වතුරෙන් තමයි අපි වැඩකරන්නේ. ලැබෙන වී අස්වැන්නෙන් තමයි අපි ජීවත්වෙන්නේ. ඒත් ඉතින් දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ඉදිරියෙදි වගා කරන්න නෙවෙයි ජීවත් වෙන්නවත් පුළුවන් වෙයිද කියලා හිතන්න බෑ." මහව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොහොඹකඩවල පදිංචි ඉමිආමි මුදියන්සේලාගේ දයාරත්න එසේ පැවසුවේ යාපහුවේ ගොවි රජවරුන්ගේ අනාගතය එතරම් සුභදායක නොවන බව පැවසීමට ඉගියක් ලබාදීමට මෙනි.

" අපිට තියෙන ලොකුම ගැටළුව තියෙන්නේ වල් අලින් ගෙන්. රෑට ඇවිත් හැමදේම විනාශ කරල යනවා. ඉස්සර ති‍බුනේ නෑ මේ කර‍දරේ දැන් වසර 10ක විතර කාලය ඉදල තමයි මේ ගැටළුව තියෙන්නේ. බව බෝගයක් හදා ගන්න බෑ. අස්වැන්න ටික ගෙදර තියාගන්න බෑ. දැන් අප‍ිට වෙලා තියෙන්නේ දවල් දවසේ වගාකටයුතුවල නිරත වෙලා රෑට පැල් රකින්න." දයාරත්න වැඩිදුරටත් එසේ පැවසුවේ වල් අලින්ගෙන් සිදුව තිබෙන කරදරකාරී බව පැවසීමටය.

වල් අලින්ගෙන සිදුවන හානි මගහැරවීම සදහා අලින් පන්නා දැමීම කල යුතුය. ඒ සදහා වනජීවී කාර්යාලයෙන් අදාල වෙඩි කරල් ලබාගැනීමට මේ ගොවියන්ට සිදුවෙයි. " අලින්ගෙන් තියෙන කරදර ගැන වනජීවී එකට කිව්වම ඒ අය කියන්නේ අපට එන්න වාහන නෑ කියලා. ඊට‍ පස්සෙ ඉතින් අපි ගල්ගමුවට යන්න ඕන වෙඩි කරල් අරන් එන්න. එතනට යන්නත් යන වාහනේට රුපියල් 1000ක විතර තෙල් පිච්චෙනවා. ඒ ගියාමත් දෙන්නේ වෙඩි කරල් තුනක් නැත්නම් හතරක් විතරයි. සමහර දවස් වලට එක රෑට මේ හතරම ගහන්න වෙනවා. ඊට පස්සෙ ඉතින් අපි ආපහු දවසේ ආයිමත් යන්න ඕන වෙඩි කරල් අරන් එන්න." කොහොඹකඩවල පදිංචි වයස අවුරුදු 32 වයස ඉමිආමි මුදියන්සේලාගේ තිලකරත්න පවසයි. " සමහර දවසට අලි එන්නේ දවල් දෙකට තුනට විතර. ඇවිත් වග‍ා විනාශකරල යනවා. මේක නවත්තන්න රජයේ අවධාන යොමුවෙන්න ඕන. ඒත් ඒ කිසිවක් තාමත් නැහැ." තිලකරත්න වැඩිදුරටත් පවසයි.

"දැනට අලි ප්‍රශ්නෙ නිසා මනුස්සයෝ හයදෙනෙක් මැරිල තියෙනවා. ටිවි එකේ රේඩියෝ එකේන් කියනවා මේවට වන්දි දෙනවා කියලා. ඒත් තවම ඒ කිසිවක් නෑ. මේ ගැන දිසාපතිතුමාට කිව්වට වැඩක් නෑ. වනජීවී එකට කිව්වට වැඩක් නෑ. මේ හරියේ ඉන්නේ ගොවිතැන් බතක් කරගෙන ජීවත්වෙන දුගී දුප්පත් ජනතාව. මෙහෙම දේවල් වෙනකොට මේ අයට වගාකර ගන්න බැරිව යනවා. මේ වෙනකොට සිදුවෙලා තියෙන පාඩුව පියවගන්න බැරිව සමහර ගොවියන් මැසි තෙල් බීල මැරිලා තියෙනවා. මේව ගැන හොයන්න කවුරුවත් එන්නෑ." කොහොඹකඩවල ගොවි සංවිධානයේ සභාපති ඉමිආමි මුදියන්සේලාගේ රංබණ්ඩා පවසයි. වසය අවුරුදු දහඅටේදී ගොවිතැනට යොමුවුන රංබණ්ඩාගේ වයස දැනට අවුරුදු 63කි. වසර ගණනාවක් ගොවිතැන පිළිබද අත්දැකීම් ඇති රංබණ්ඩා වැඩිදුරටත් පවසනු ලබන්නේ කිසිදු දිනක ගොවිතැනෙන් සෑහීමට පත්වීමට නොහැකිවූ බවයි. " කොහොඹකඩවල මහ වැව පිරුනොත් විතරයි වගාකරන්න පුළුවන්. මාස් කන්නෙ විතරයි මෙහේ වගාකරන්නේ. ඒ වග‍ාකරන්නෙත් මාසතුනේ වී. ඒ මාස තුනවත් හරියට වගාකරන් බෑ. අපි කොච්චර කිව්වත් රජයෙන් අහන්නෑ. එලි වැටෙනකන් පැල්වල ඉන්නේ. පැල්වලවත් හරියට ඉන්න බෑ ගෙදර කොයිවෙලාවෙ කඩයිද කියල කියන්න බෑ. ලක්ෂ කෝටිගණන් වියදම් කරල පෝසටර් ගහල නිකරුනේ රැස්වීම් කරන්න පුළුවන්. නමුත් මේ යාපහුව ආසනේ ගොවියන් මුහුණ දෙන වල් අලි ගැටළුවට සතපහක් දෙන්නෑ. අපි මිනී පෙට්ටි අරගෙන ගිහින් පාරවල් ගානේ පිකටින් කලේ. එතකොට කියන්නේ ලබන මාසේ දෙන්නම් විසදුමක්. නැත්නම් ඊළග මාසේ දෙන්නම් කියලා. දෙනවයි කියල කිව්වට තාමත් නෑ."

යාපහුව ආසනයේ කාන්තා පිරිමි හැම කෙනෙක්ම වගාකටයුතු වල නිරතවී සිටිති. කාන්තාවන්ද පුරුෂයන් මෙන් එක සමානව ව‍ැඩකලද ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙයි." අපි බෙ‍ාහෝම දුෂ්කරව තමයි මේ කටයුතු නියැලිලා ඉන්නේ. අ‍පේ ඉඩම් වගාකර ගන්න බැරිවුනොත් ඊට පස්සේ මාස කිහිපයක් ජීවත්වෙන්න බැරිව යනවා. ඒක නිසා අපි වෙනත් කුඹුරුවල කුලී වැඩට යනවා. එහෙම ගිහිල්ලත් පිරිමියෙක් හා සමානවම වැඩකරනවා. ඒත් අපිට ලැබෙන්නෙ අඩු වැටුපක්. පිරිමිකෙනෙක්ට රුපියල් 700ක් ලැබෙනවා. අපිට ගෙවන්නේ රුපියල් 400ක් හරි 450ක් පමණයි. ඒක ගන්නෙත් බොහොම අමාරුවෙන්." අතපත්තු හේරත් මුදියන්සේලාගේ සුමනාවතී පැවසුවාය. " අපේ දරුවො ඉගෙන ගන්නෙත් බොහොම අමාරුවෙන්. පාසලට යන්නත් කිළෝමීටර් 4ක් විතර යන්න ඹ්න." සුමනාවතී තම ගොවි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් පැවසුවාය.

" මොනදේ වුන‍ත් මෙහේ හැමෝම නීරෝගිව ජීවත් වෙනවා. කිසිම ලෙඩක් දුකක් දරුණු විදියට හැදිල නැහැ. ඒක හේතුව තමයි අපි හැමෝම ඇග මහන්සිවෙලා වැඩ කරන හින්දා වෙන්න ඇති." ඉමිආමි මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර පැවසුවේ සිනාමුසුවයි. " අපිට මාර්ග දුෂ්කරතා තියෙන නිසා ලැබෙන අස්වැන්න ‍අළෙවිකරගන්න ගෙනියන්න අපහසුයි. මෙතන ඉදල මහවටත් තියෙනවා කිළෝමීටර් 12ක් 13ක් විතර. බස්එකක් ගමට එනවා ඒ එන්නෙත් උදේටයි හවසටයි විතරයි. " නවරත්න බණ්ඩාර එසේ වැඩිදුරටත් පැවසුවේ ප්‍රදේශයේ පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු පෙන්වාදීමටය.

විවිද දුෂ්කරතා මැද්දේ වගාකටයුතු සිදුකලද ලැබෙන අස්වැන්නට නියම මිළක් නොලැබෙන බව ‍කොහොඹකඩවල ගමේ ගොවියන් පෙන්වාදෙති. " අපි බොහෝම අමාරුවෙන් තමයි වගාකරන්නෙ. ඒ වගාකරලත් ලැබෙන අස්වැන්න විකුණගන්න තවත් දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕන. මේහේ ඉදල රජයේ මිළදී ගන්න තැනකට හරි පෞද්ගලික අංශයේ මිළදි ගන්න තැනකටහරි ගෙනියන්න ඕන. ඒ ගෙනිච්චත් අඩු මුදලකට තමයි විකුණ ගන්න පුළුවන් වෙන්නේ. සමහර කන්න වලදි හොද මිළකට විකුණ ගන්නත් පුළුවන්. දැන් මේ වෙනකොට අස්වැන්න කපන කාලේ. ඉස්සරහට අස්වැන්න විකුණන එක කෙ‍ාහොම වෙයිද කියල කියන්න බැහැ." ඉමිආමි මුදියන්සේලාගේ රංජිත් යසරත්න පැවසීය.

දුෂ්කරතා රැසක් මැද යාපහුවේ ගොවි රජවරුන් රටට බත සැපයීමට වෙහෙස මහන්සිවෙති. මේ දක්වා තමන්ගේ ගැටළුවලට නිසි අවධානයක් නොවීම පිළිබදව මේ ගොවියන් තුල පවතින්නේ කනස්සල්ලකි. කෙසේ වුවද ලංකාවේ සිව්වැනි රාජධානිය බවට පත්වු යාපහුව රාජධානියේ ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබද සොයා බැලීම ඔවුන්ට කරනු ලබන විශාල සේවයකි. ඒ කෙසේ වෙතත් යාපහුව පර්වතය මෙන් නොසැලී දුක් කම්කටොළු මැද දහඩිය මහන්සියෙන් රටට බත සපයන යාපහුවේ ගොවි රජවරුන් අපේ ‍රටට මහගු සම්පතක් වගේම මහත්වූ අභිමානයකි. ගෞරවයකි.

විශේෂ ස්තුතිය,

මාතර මාධ්‍ය නිවසට සහ ඉන්ටර්නිව්ස් ශ්‍රී ලංකා ආයතනයට.


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

නිර්මාණශීලි මාධ්‍ය කලාවක් උදෙසා.......


Wednesday, July 28, 2010

රඹුටන් වාරේ.....

නුවර පාරේ රඹුටන් අලෙවි කරන්නෝ.........

රඹුටන් රස පළතුරකි. රඹුටන් සදහා මල්වාන ප්‍රසිද්ධව පවතී. මේ වන විට රඹුටන් වාරය පැමිණ තිබේ. සෑම නගරයකම, ප්‍රධාන මාර්ගයක් දෙපසම රඹුටන් අලෙවිකරනු ලබන වෙළෙදුන් දැක ගත හැකිය. කෙළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේ රඹුටන් අලෙවිකරන වෙළෙදුන් පහත දැක්වේ.


මේ වෙළදාම සිදුවන්නේ රඹුටන් වාරයට පමණි. ''විවිද පුද්ගලයන්ගේ බලපෑම් මත තමයි අපට වෙළදාම් කිරීමට සිදුව තිබෙන්නේ. කප්පන් කාරයෝ නිසා අපිට හරිහැටි වෙළදාමක් කරගන්න අමාරුයි. " කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේ රඹුටන් අලෙවියේ යෙදෙන ශ්‍රියානි සමන් කුමාරි මහත්මිය පැවසුවාය. කෙසේ වුවද රඹුටන්වල රස බැලීමට නුවර කොළඹ මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනෙක් මෙම ස්ථානයේ නතර වෙති. ඔවුන් රඹුටන් ගෙඩියේ රස බැලුවද රඹුටන් අලෙවි කරුවන්ගේ සැබෑ ජීවිත එතරම් රසවත් නොවන බවයි රඹුටන් අලෙවි කරුවන් පවසන්නේ....

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා....

Friday, July 23, 2010

මගේ පුතා මැරුණේ පොලිසියෙන් ගුටිකාල නෙවෙයි.....

ප්‍රහාරයෙන් මිය ගිය සරසවි සිසුවාගේ මව පවසයි...

රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා මිය ගියේ පොලිස් ප්‍රහාර නිසා නොව තවත් ශිෂ්‍යයකුගේ ප්‍රහාරයක් නිසා බව සිසුවාගේ මෑනියන් වන වයලට් මනතුංග මහත්මිය පවසයි. වැඩි විස්තර සදහා දැනගැනීම සදහා මෙතන බලන්න.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලි මාධ්‍ය කලාවක් උදෙසා.....

Thursday, July 22, 2010

බැටන් ප්‍රහාරය වැදී සති කිහිපයක‍ට පසු රුහුණ විශ්ව විද්‍යාල සිසුවා මිය යයි....

"මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න."
රුහුණ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක පවසයි.



රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් එල්ලකරණ ලද බැටන් පොලු ප්‍රහාරයකින් හිසට තුවාල සිදුවීම නිසා බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු අද උදෑසන (23 දින) මිය ගොස් ඇත.

එලෙස මිය ගොස් තිබෙන්නේ බුත්තල උණාවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි සුසන්ත බණ්ඩාර (24) නැමති විශ්ව විද්‍යාල සිසුවෙකි.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පහුගිය ජූනි 18 වෙනිදා පැවති අතර එය පාලනය කිරීම සදහා මාතර ප්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයකින් නිළධාරීහු රැසක් විශ්ව විද්‍යාලයට කැදවා තිබුණි. මෙහිදී ඇතිවූ තත්වය පාලනය කිරීම සදහා පොලීසිය විසින් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරන ලදී. එය වැදුනු සුසන්ත බණ්ඩාර සිසුවා තම ගමේ රෝහල වන බුත්තල මහ රෝහලටද පසුව දියතලාව සහ බදුල්ල රෝහල් වෙතටද ඇතුලත් කොට තිබු බව වාර්තා විය.

හිස අභ්‍යන්තරයේ ඇතිවී තිබු ලේ ගැලීම් සහ වෙනත් තත්වයන් මත සුසන්ත බණ්ඩාර විශ්ව විද්‍යාල සිසුවා අද උදෑසන බදුල්ල මහ රෝහලේදී මිය ගොස් ඇත.

සිසුවාට එම පහර දීම සම්බන්ධයෙන් ඊට විරුද්ධව අද උදෑසන (23 දින) රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කලහ. රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් දෙදහසකට වැඩි පිරිස‍කගේ සහභාගිත්වයෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්තුනි. පෝසටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් මාතර වැල්ලමඩම රුහුණු විශ්ව විද්‍යාලය අසලින් ‍ගමන් ආරම්භකර පෙළපාලි කරුවන් මාතර නගරය කරා පැමිණියහ.


උද්ඝෝෂණ කරුවන් විශ්ව විද්‍යාලය අසල සිට මාතර නගරයට පැමිණෙන අයුරු.

නමුත් මාතර කොටුවේගොඩදී පොලීසිය සහ හමුදාව විසින් පෙලපාලිය තව දුරටත් ඉදිරියට පැමිණිම නතර කිරීම සදහා පාර හරහා ආරක්ෂක වලල්ලක් දමා තිබුනි.


උද්ඝෝෂණ කරුවන්ගේ පැමිණීම වැලැක්වීමට ආරක්ෂක රැකවල් යොදා තිබූ අයුරු.

මෙම අවස්ථාවේ පොලීසියේ උසස් නිළධාරීන් විසින් මහා ශිෂ්‍ය සංගමයේ නිළධාරීන් කිහිපදෙනෙක් සමග සාකච්ඡාකල අතර එම අවස්ථාවේ ශිෂ්‍යයින් ඒ අසල බිම වාඩිවී තම විරෝධය පලකර සිටියහ.



මාර්ගය මත වාඩීවී උද්ඝෝෂණය කරන අයුරු සහ අරක්ෂක අංශය හා මහා ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡා පවත්වන අයුරු.

"මෙම පහර දීම නිසා විශ්ව විද්‍යාලයේ සි‍ටි දීප්තිමත්ම ශිෂ්‍යයෙක් අහිම් වුනා. මෙවැනි මර්ධනකාරී බල වේගයන්ට එරෙහිව දිගටම උද්ඝෝෂණ පවත්වනවා. ඒ වගේම අපේ සහෝදර සිසුවාගේ මරණය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිනවා." උද්ඝෝෂණයට සහභාගිවූ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක සිසුවා පැවසුවේය.

උද්ඝෝෂණ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන බව රුහුණු විශ්ව විද්‍යාල‍යේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා...


Wednesday, July 7, 2010

දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව මතුකර දැක්වීම මාධ්‍ය කරුවාගේ වගකීමක්.........

දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා......

"සත්‍ය ඉස්මතුකර අසත්‍ය යටපත් කිරීම හා පාසල් දරුවන්ගේත්, ගමේ දරුවන්ගේත් නිර්මාණශීලී හැකියාව ඉස්මතු කර දැක්වීමත් මාධ්‍ය කරුවාගේ වගකීමක් වෙනවා" දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා පැවසුවේය. මාතර මාධ්‍ය නිවස දකුණේ වෘත්තිය මාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානයකරනු ලැබු "පොලීසිය, ප්‍ර‍ජාව හා මානව හිමිකම්" මැයෙන් මාතර මාධ්‍ය නිවසේ ජූලි 08වන දින සංවිධානයකර තිබු පුහුණු සැසියකදී මේ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් දැනුවත් කරමින් පෙන්වාදෙන ලදී. වැඩි දුරටත් කරුණු දැක්වමින් " ලංකාවේ සිටින්නේ මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබද ඉහළම අත්දැකීම් සහිත කණ්ඩායමක්. ඒ වසර 30 ක යුධමය අත්දැකීම් එක්ක. මාධ්‍යවේදීයාද හොද සාහිත්‍ය කරුවෙක්. නමුත් සමහර මාධ්‍යවේදින් තුල එවැනි සාහිත්‍යමය රසයක් ජනිත කරවීමට‍ නොහැකි ආකාරයට ලියන ආකාරයකුත් දක්නට ලැබෙනබව" ‍නීල් දළුවත්ත මහතා වැඩි දුරටත් පැවසුවේය.

මාධ්‍ය කරුවා ව්‍යාපාරික වී ඇතිබවයි නියෝජ්‍ය පොලිස්පති තුමන් වැඩිදුරටත් පැවසුවේ" වාණිජ කරණයත් සමග මාධ්‍යකරුවා සතු සාහිත්‍යමය රසය අකාමකා දමමින් ති‍බෙනවා. අද සාහිත්‍යකරුවා සේම මාධ්‍යවේදියාද ව්‍යාපාරිකයා මිළදීගෙන තිබෙනවා. මේ තත්වය විශේෂනාත්මක හෙළිදරව් කිරීමක්. ඒ පිළිබදව ලිවීමත් මාධ්‍ය කරුවාගේ වගකීමක්" නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා වැඩිදුරටත් මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

"සාහිත්‍යකරුවාගේ ව‍ටිනාකම තවදුරටත් ලොවේ රැදී තිබීම සතුටට කරුනක්. ඒ වගේම මාධ්‍යකරුවාත් තම තත්වය රැකගත යුතුයි. මාධ්‍ය කරුවාගේ කාර්ය්‍යත් හැමදාමත් සංවේදී සමාජයේ රැදිය යුතුයි." මැක්සිම් ගෝර්කි ලියු අම්මා නවකතාව උදාහරනයට ගෙනමින් ‍නියෝජ්‍ය පොලිස්පතිතුමන් පෙන්වා දෙන ලදී. වැඩිදුරටත් කරුනු පැහැදිලි කරමින් එතුමන් පැවසුවේ,"තමන් සතු හැකියා ප්‍රයෝජනයට ගෙන කුසලතා පෙන්වමින් සංවේදීව කටයුතු කරම්න් ජනතාවගේ සත්‍ය දැනගැනීමේ උවමනාව සාක්ෂාත් කර දීම සිදුකල යුක්තක් වෙනවා. එදා මෙදා තුල අපේ මාධ්‍යවේදීන් ඒ දේ හරියට සිදුකලා. පුද්ගල චරිත ගොඩනැංවීමේදී ඉස්මතුකර පෙන්වීමේදී ඉහළම දායකත්වය ලබා දුන්නේ මාධ්‍යවේදියායි" නීල් දළුවත්ත මහතා පැවසීය.

"එදා ගෞරවාන්විත සේවාවක නිරතවූ දිශාපාමොක්තුමන්ලා අද පුටුවෙන් ඇලදාන සමාජ තත්වයක් වාණිජ සමාජය විසින් ගොඩනංවා තියෙනවා. එවැනි සමාජයක් යහපත් තත්වයකට ගොඩනැංවීම මාධ්‍යවේදියාගේ සංවේදී හදවතට කළ හැකියි" නියෝජ්‍ය පොලිස්පති තුමා පැවසීය.

ගොවිජනතාව සමාජයේ සුවිශේෂී ප්‍රජාවක් බවයි නීල් දළුවත්ත මහතා පෙන්වා දුන්නේ. "ජීවිතය පිළිබද, සමාජය පිළිබද, පරිසරය පිළිබද ඉහළම අත්දැකීම හා දැනුම තියෙන්නේ අපේ ආදරණීය ගොවිජනතාවටයි. ඔහුගේ ඒ සංවේදී බව දැනුම හැකියාව මාධ්‍යකරුවා විසින් ඔසවා තැබිය යුතුයි. නමුත් එවැනි තත්වයටකට පුළුල්ලෙස ලංවීමක් දකින්න ලැබෙන්නෙ නැහැ. ප්‍රායෝගිකව ඔවුන් සතු දැනුම හැකියාව රටේ යහපාලනයට වැදගත්වනවා එය ඉස්මතුකර පෙන්විය හැක්කේ මාධ්‍යයට පමණයි."

අධ්‍යාපනයට ඉහළ වටිනාකමක් ලබාදීම සදහා මාධ්‍ය කරුවා ‍කටයුතු කල යුතුබවයි නීයොජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා වැඩිදුරත් පැවසුවේ."අපි යළිත් ගුරුගෙදර නගා සිටුවිය යුතුයි. සමහර ගම්මානවල ගුරු ගෙදර ශිෂ්ඨාචාරය තවමත් ක්‍රියාත්මක වෙනවා. එම තත්වය සමාජයේ සෑම ඉසව්වක් කරාම පැතිරිය යුතුයි. ඒ තුලින් අතීතයේ තිබූ ඒ විනය ගරුක සුන්දර සමාජය යළිත් ගොඩ නගා සුන්දර සමාජයක් ගොඩනැගිය හැකියි. ගුරු ගෙදර යළිත් ඔසවා තබන්න එක්වන්න කියා මා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා."

මේවනවිට සාමකාමී පරිසරයක් රටපුරා ගොඩනැගෙම්න් පවතින බවද ඒ මහතා ‍මාධ්‍යවේදීන්ට පෙන්වාදෙන ලදී." දශක තුනක සිට මේ රටේ ගොඩනැගුන සටන්කාමී, කලහකාරී ජනජීවිතය වෙනස්වී සහජීවනයෙන් යුතු සමාජයක් රටතුල ගොඩනැගෙමින් තිබෙනවා. එහිදී එම තත්වය රැකගෙන යහපත් ආකල්පමය වෙනසක් තුලින් ජනජීවිතය ගොඩනැංවීමේ කාර්ය්‍ය මාධ්‍යයට‍සේම පොලීසියටත් කාර්ය්‍යභාරයක් තියෙනවා." මේසදහා පොලිස් නිළධාරීන්ද සංවේදී විය යුතු බවයි නීල් දළුවත්ත මහතා පෙන්වා දෙනු ලැබුවේ.

"අද අපි ලබා තිබෙන නිළතල තත්වයන් සමාජ තත්වයන්, සුඛෝපභෝගී භාවයන් ඉදිරි ආත්ම භාවයේදී නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අපිට ලැබුනු මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන සමාජයට සේවයක් කරන්න උත්සාහ ගැනීම මෙලොවට මිනිසත්කම ලැබ පැමිණි අපි කාගේත් යුතුකමක්. අපට නැති නෑකම් ලෝකයේ ඇතිකර ගන්නට යාමෙන් අද ලෝකයේ ගෞරවනීය ජා‍තියක්වූ අප යම් පිරිහිමකට ලක්වි සිටිනවා. ඒ පුහු ජනප්‍රියත්වය හා ආත්මාර්ථකාමීව කටයුතු කිරීම නිසයි. බලතලවලට යටත්වී වැඩකිරීම නොකල යුත්තක්. ‍ඒසේ කටයුතු නොකරන ලෙස සැමගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා අවසානයේ දකුණේ ජනමාධ්‍යවේදීන් අමතා පැවසීය. මෙම අවස්ථාවට ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන් හා රැසක් සහභාගිවී සිටියේය.

මාතර මාධ්‍ය නිවස මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

Tuesday, July 6, 2010

පැහැබර හෙටක් නොදුටු මව්වරු...

"මගේ ජීවිතෙන් දැන් ගොඩක් ගෙවිලා ගිහින්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් වරායේ ලොකු රස්සාවක් කරනවා. අනිත් පුතා ග්‍රාම නිළධාරිවරයෙක් එයාල දැක්කම මට හුඟක් සතුටුයි. ඒත්........"
එහෙත් ඇයට ලොකුමහත්වූ දරුවන් ඔවුන් කුඩාකල මෙන් දැක්ක නොහැක. කුස තුළ දසමසක් තබාගනිමින් රුහිරු, කිරි බවට හරවමින් දරුවන්‍ දෙදෙනා ඇතිදැඩි කල ආරියවතී මහත්මීය වර්තමානයේ ඔවුන් දෙදෙනා ගැන සිහිකරමින් ආඩම්බර වුවත් තමන්ගේ මව ගැන ආඩම්බර වීමට හෝ මව රැක බලා ගැනීමට දරුවන් ‍දෙදෙනාට ඕණැකමක් හෝ කාලයක් හෝ නොමැත.
කුඩාකල මවගේ දෑසට නොපෙන්නට එක මොහොතක් හො සිටින්නට නොහැකි වූ දරුවන්ට ලොකුමහත්වූ පසු අම්මා දෑසින් පෙනෙන්ට වත් සීටීම කරදරයක් වූ ආකාරය පුදුමයක්ම නොවේද, නමුත් සත්‍යය එයයි.

කඹුරුපිටිය මලාන "වැඩිහිටි කාන්තා සුරැකීමේ මධ්‍යස්ථානයේ" තමන්ගේ දිවියේ සැඳෑ සමය ගෙවන මෙවන් මව්වරු බොහෝමයක් සිටිති. ආරියවතී මව මෙන්ම ලීලාවති මවත් එවන් අම්මා කෙනෙකි.
"මම මෙහෙම ඉන්න ඕණ කෙනෙක් නොවෙයි මට ගොඩක් ‍දේපල තිබුණා." නමුත් ලීලාවතී මවට දරුවන් නොසිටීම නිසා ඇය ඥාතී දරුවකු තමන්ගේ දරුවා මෙන් හදාවඩා ගත්තේය. "ඒත් පුතා කසාද බැන්ඳට පස්සේ ගොඩක් වෙනස් වුණා. මට වද දීල මගේ දේපල ඔක්කොම ලියවගෙන මාව ගෙයින් එළියට දැම්මා." ඒ දුක්බර සිදුවීමෙන් පසු ඇයටද පිළිසරණක් වූයේ මේ නිවහනයි. "දැන් මම පිනක් දහමක් කරගෙන ඉන්නවා. මේ ළඟදී මට දඹදිව යන්නත් අවස්ථාව ලැබුණා." නමුත් හදාවඩා ගත් දරුවා සිහිවීම ඇයට අමතක කිරීම ඉතාමත් අසිරු කටයුත්තක් වී තිබේ.

දරුවන් විසින් අමතක කල මෙවන් මව්වරු පස් (05) දෙනෙකුට සෙවණ දුන් මේ වැඩිහිටි කාන්තාවන් සුරැකීමේ මධ්‍යස්ථානයේ අදවන විට වසර 17ක් තුළ මව්වරුන් දහතුන් (13) දෙනෙකු ජීවත්වීම අවාසනාවන්ත තත්ත්වයකි.

මෙම ස්ථානයේදී මව්වරුන්ට කිසිදු අඩුපාඩුවක් සිදු නොවීමට පාලිකාවන් උත්සාහ කළත් දරු සෙනෙහස මතුවීම මෙම මව්වරුන්ට කෙසේවත් පාලනය කරගත නොහැක. හුදෙකලාවන හැම විටම කඳුලක් නෙතට උණන මේ මව්වරුන් අතීතය සිහිකරන්නේ දරාගත නොහැකි කම්පනයකින් නොවේද. "මට දුවෙක් ඉන්නවා දැන් එයා කසාද බැඳලා දූගේ ගාවට ගියාම එයා මට සලකන්න බැහැ කිව්වා." දරුවන් කුඩා කල කිරට හඩන ඔණෑම විටෙක මුවට දෙතන ලංකරන්නට අම්මා ලෝභ නොවුවත් මවට බත්පතක් දිම තමන්ගේ දියණියම ප්‍රතික්ෂේපකල නිසා ඥාණවති මව මේ ස්ථානයට පැමිණ තිබේ."දැන් මම කාත් කවුරුවත් නැති අසරණ ගැනියක්" කඳුළු අතරින් ඇය පැවසුවත් අමාමවරුන්ගේ අගය දන්නා පුද්ගලයන් මේ සමාජයේ දැනටත් සිටින නිසා ඇයගේ හිසට වහලක් ලැබී තිබේ.
දරුවන් තනිකල අම්මාවරු මෙන්ම දරුවන් නොමැති නිසා අසරණවන අම්මලාත් මෙම වැඩිහිටි කාන්තා සුරැකිමේ මධ්‍යස්ථා‍නයේ සෙවන ලබන්නේය. "මම දැන් මෙහෙට ඇවිල්ල මාස හයක් විතර වෙනවා ඉස්සර රස්සාව විධියට කරේ රබර් කිරි කපන එක මට දරුවො ‍තුන්දෙනෙක් ඉන්නවා තුන්දෙනාම සනීප කරගන්න බැරි ලෙඩකින් මැරුණා මට දැන් සලකන්න කෙනෙක් නැති නිසා තමයි මෙහෙට ආවේ." කරලිනාහාමි මව පවසන්නීය.

මෙවන් විවිධ කරුණු නිසා අසරණ වූ වැඩිහිටි කාන්තාවන් සුරැකීමට කඹුරුපිටිය මලාන වැඩිහිටි කාන්තා සුරැකීමේ මධ්‍යස්ථානය ආරම්භ කරන ලද්දේ 1993 වර්ෂයේදී බව මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකා පද්ම ගුණසේකර පැවසුවාය. "අපේ යාවජීව අරමුදලක් තියෙනවා. ඒකෙන් තමයි මේ වැඩිහිටි නිවාසය පවත්වගෙන යන්නේ අපට තියෙන සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන අරගෙන අපි මේ අම්මල හොඳින් රැකබලා ගන්නවා." ඇය පවසන්නීය.

ජීවිතයේ සැදෑසමය දරුවන් මුණුබුරන් සමග ගතකීරීම ඕණැම මවකගේ සිහිනයකි. නමුත් ඒ සිහිනය බොඳකිරීම විශාල පවකි. මෙම වැඩිහිටි නිවාසයේදී අම්මලාට සියළුම පහස්කම් ලැබුනත් තමන්ගේ දරුවාගේ ආදරය සෙනෙහස නො‍ලැබේ. "දැන් දැන් වැඩිහිටි නිවාසයට ඉල්ලුම් පත්‍ර ලැබෙනවා වැඩියි අම්මල ඇතුලත් කරගන්න කියල ඒක ඇත්තටම කනගාටුවට කරුණක් ඒත් අපි හව්හරණක් නැති අම්මල භාරගන්න කටයුතු කරනවා." පාලිකාව පවසන්නීය.

නමුත් මව්වරුන් ඇතුලත්වන තරමට මධ්‍යස්ථානයේ සම්පත් වැඩිදියුණු වන්නේ නැත."අපි දැන් අළුත් ගොඩනැගිල්ලක් හදනවා ඒකෙ වැඩ තාම ඉවර නැහැ ඉතිං වැහි දවස්වලට හරි කරදරයි මොකද ඉදඩ නැතිනිසා අම්මල ඉන්නේ කොරිඩෝවේ ඒක තෙමෙනවා. ඒක නිසා ගොඩනැගිල්ලෙ වැඩ ඉවර කරගන්න දානපතියන්ගේ ආධාරය ලැබු‍නොත් ඒක ලොකු උපකාරයක් වේවි මේ අම්මලාට" ඇය පවසයි.
"මේ නිවාසේ ලොකු නෝනා අපිට හොඳට සලකනවා. ඒ නිසා මම ජිවිතේ නැතිවුණ දේවල් හිතන්නැතුව ඉන්න උත්සාහ කරනවා."ඥාණවතී මව පවසන්නීය. නමුත් ප්‍රධාන පාලිකාව තමන්ගේ අත්දැකීමෙන් පවසන්නේ කථාකරන විට හිතේ හයියෙන් කථාකලත් හුදෙකලාවූ විට මේ අම්මලා දැඩි දුකකින් කදුලු සලන බවයි. "මම මේ නිවාස‍යේ පාලිකාව විධියට වසර 10ක් විතර වැඩ කරනවා. අපිට මේ නිවාසය කරගෙන යන්න වෙන්නේ දරුවන් අම්මලාට සලකන්නැති නිසා අපේ මධ්‍යස්ථානෙ ඉන්නේ අම්මල විතරයි. හැබැයි තාත්තලටත් මේ තත්ත්වෙම අද සමාජයේ උදාවෙලා තියෙනවා. ඉතිං ඉදිරි පරම්පරාවවත් මේ ගැන හිතල බැලුවොත් වැදගත් කියල මම හිතනවා." පාලිකා පද්මා ගුණසේකර පවසන්නීය.

හිතන්න මේ ගැනත් "ජීවිතය ලබාදුන් පසු ජීවත් වීම පමණක් නොව, ජීවිතය ලබාදුන් දෙමාපියන් රැක ගැනිමත් දරුවන්ගේ වගකීමක් නොවන්නේද," කියා........!

(වැඩිහිටි කාන්තා සුරැකීමේ මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු හා අදවු උපකාර කීරිම සඳහා අමතන්න - 041 22 93 325)

w.k. මහේෂිකා
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව